October 5, 2026

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පර්මලින් අතර නියෝජිත මට්ටමේ නිල සාකච්ඡාවක් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් භවනේදී පැවැත්වුණි.

රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා සිය නිල සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් සිය බිරිඳ වන කැරොලයින් පර්මලින් සමඟ රාජ්ඝාට් හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ද ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීය.

X ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සඳහන් කළේ, ඉන්දියා-EFTA වෙළඳ හා ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම (TEPA) පදනම් කරගනිමින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා දක්වන උනන්දුව අගය කරන බවයි.

අගමැති මෝදි සමඟ පැවැත්වෙන සාකච්ඡා මගින් ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව තවදුරටත් වර්ධනය වනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කළේය.

මෙම රාජ්‍ය සංචාරය දෙරට අතර පවතින සහයෝගය සහ දීර්ඝකාලීන හවුල්කාරිත්වය තවදුරටත් තහවුරු කිරීමට ලැබුණු ශක්තිමත් පදනමක් බව ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පර්මලින් සඳහන් කළේය.

මීට පෙර ජනාධිපති භවන් හි පැවැති නිල පිළිගැනීමේ උත්සවයේදී ඉන්දියානු ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.