October 7, 2026

ශ්‍රී ලංකාවේ සියලුම අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ‘e-court’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එම ව්‍යාපෘතියේ මූලික පියවර වශයෙන් මහේස්ත්‍රාත්, දිසා සහ මහාධිකරණවල නඩු ගොනු කළමනාකරණය සඳහා අවශ්‍ය ඩිජිටල් පද්ධති නිර්මාණය කිරීම දැනටමත් ආරම්භ කර ඇත. ඊට අදාළව අධිකරණ පද්ධතියේ සියලුම මට්ටම්වල නිලධාරීන් වෙත නිල විද්‍යුත් තැපැල් (E-mail) පහසුකම් ලබාදීමට නියමිත අතර, රාජ්‍ය නිල තොරතුරු ද්වාරය (gov.lk) යටතේ අධිකරණ 350ක් සඳහා `courts.gov.lk` නිල නාමය සහිත විද්‍යුත් තැපැල් ගිණුම් 1,050ක් මූලික අදියරේදී ලබාදීමට සැලසුම් කර ඇත.

එසේම, අධිකරණවල පවතින ලඝුලේඛක හිඟයට පිළියමක් ලෙස වාචික ප්‍රකාශ එසැණින් ලේඛන බවට හැරවීමේ (Voice-to-Text) තාක්ෂණික පහසුකම්ද මෙම පද්ධතියට ඇතුළත් කෙරේ.

මීට අමතරව, අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත සහ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධානවලට අනුව මාර්ගගත (Online) ක්‍රමයට නඩු විභාග පැවැත්වීම සඳහා සියලුම අධිකරණ වෙත වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම් සලසා දීමටද නියමිතය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.