October 5, 2026

හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස බලකරමින් ඔහුගේ පාකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය සංවිධානය කළ දැවැන්ත විරෝධතා පාගමන ඉරිදා දිනයේදී එරට වයඹදිග කලාපයෙන් ආරම්භ විය. බලධාරීන් සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව මෙම විරෝධතාව ආරම්භ වී තිබේ.

සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මෙම පාගමන ඉරිදා දක්වා කල් තබන ලදී. විරෝධතාකරුවන් ඉස්ලාමාබාද් අගනුවරට ළඟාවීම වැළැක්වීම සඳහා බලධාරීන් සති කිහිපයක සිට දැඩි ආරක්ෂක පියවර ගෙන ඇත.

PTI පක්ෂය පාලනය කරන කයිබර් පක්තුන්ක්වා පළාතේ ලක්කි මාවට් හි දහස් සංඛ්‍යාත ජනතාවක් රතු සහ කොළ පැහැති පක්ෂ කොඩි අතැතිව වීථි බැස සිටිති.

ඉම්රාන් ඛාන්ගේ ඡායාරූප සහිත “ඉම්රාන් ඛාන් නිදහස් කරනු” යනුවෙන් සඳහන් විශාල පුවරු ද විරෝධතාවයේ දක්නට ලැබුණි.

කයිබර් පක්තුන්ක්වා හි මහ ඇමති සොහේල් අෆ්රිඩි සඳහන් කළේ මෙම “දීර්ඝ පාගමන” සැලසුම් කළ පරිදිම ඉදිරියට යන බවයි.

73 හැවිරිදි ඉම්රාන් ඛාන් හට ලබාදෙන වෛද්‍ය ප්‍රතිකාර සීමා කිරීම සහ පවුලේ සාමාජිකයින්ට ඔහුව හමුවීමට නොදීම හේතුවෙන් ජනතා අප්‍රසාදය දැඩි වී ඇත. එමෙන්ම පසුගිය මාසයේදී අත්අඩංගුවට ගන්නා ලද ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තිදෙනා ද වහා නිදහස් කරන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටී.