October 5, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විදේශගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පවසමින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකර තිබේ.

ශිරන්ති රාජපක්ෂ අද (05) මෙම අයැදුම්පත ගොනුකරමින් ඉල්ලා සිටින්නේ, තමන් අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙසයි.

මෙම අයැදුම්පත මාළිගාකන්ද මහේස්ත්‍රාත් ජනනි පෙරේරා හමුවේ සලකා බලන ලදී.

නීතිඥ ජයබාලන් මාර්ගයෙන් ගොනුකරන ලද මෙම අයැදුම්පතෙහි වගඋත්තරකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම්කර ඇති අතර, පෙත්සම්කාරිය ලෙස ශිරන්ති රාජපක්ෂ දක්වා ඇත.

ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනීසිටින ලෙස ශිරන්ති රාජපක්ෂට දැනුම් දී තිබූ පසුබිමක මෙම අයැදුම්පත ඉදිරිපත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යැයි පවසමින් විදේශගතව සිටී.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් යැයි පවසමින් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු, ඇය සැප්තැම්බර් 16 වැනිදා අලුයම බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.

ඇය පිටත්ව යන අවස්ථාව වන විට, සැප්තැම්බර් 24 වන දින FCIDය හමුවේ පෙනී සිටින ලෙස පොලිසිය විසින් ඇයට දැනුම් දී තිබූ බව වාර්තා විය.

FCIDය හමුවේ පෙනීසිටින ලෙස කැඳවීම් කර තිබියදීත් ශිරන්ති රාජපක්ෂ විදේශගත වූ බව එම කොට්ඨාසය පසුව ප්‍රකාශ කළේය.