October 5, 2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව චෝදනා නොමැති බවත්, චෝදනා පත්‍රයක් ලබාදී නොමැති බවත්, ඔහුට විරුද්ධව නඩු විභාගයක් පවත්වා නොමැති බවත් එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

නාමල් රාජපක්ෂ සිරගත කර ඇත්තේ, මෙම කිසිදු පියවර අනුගමනය නොකර බවද ඔහු සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘යුක්තිය වෙනුවෙන් නැගිටිමු’ නමින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

“නාමල් රාජපක්ෂ කෙඳිරිගාන්නේ නැහැ. අපි කෙඳිරිගාන්නේ නැහැ. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් තියෙනවා. විමර්ශනය කරලා, චෝදනාව පහදලා දීලා, චෝදනා පත්‍රයක් දීලා, යම්කිසි නඩු විභාගයක් පවත්වලා, සාධාරණ නඩු විභාගයක් පවත්වලා, ඒ තුළින් සාක්ෂි ලැබෙනවා නම් චූදිතයා දඬුවම් කරන්න පුළුවන්. නාමල් රාජපක්ෂට තියෙන චෝදනා මොනවාද කියලා කියලා දීලා තියෙනවාද? නැහැ. චෝදනා පත්‍රයක් දීලා තියෙනවාද නාමල් රාජපක්ෂට? නැහැ. නාමල් රාජපක්ෂට විරුද්ධව නඩු විභාගයක් කරලා තියෙනවාද? නැහැ. හැබැයි හිරේ ඇතුළේ තියන් ඉන්නවා. මෙන්න මේක තමයි අපි කියන අයුක්තිය. මෙන්න මේක තමයි අපි කියන අසාධාරණය.

​ඊළඟට අනිත් එක තමයි අල්ලස් කොමිසම, එහෙම නැත්නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව. මේක බොහොම ශක්තිමත්ව බලතල සහිතව නිර්මාණය කරපු දෙයක් මේ රටේ අල්ලස සහ දූෂණය මර්දනය කරන්න. මේ අල්ලස සහ දූෂණය මර්දනය කරන්න නිර්මාණය කරපු මේ ආයතනයේ ප්‍රධානම චරිතය වෙන අධ්‍යක්ෂ ජෙනරාල් චරිතයට පත්කර ගන්නවා මේ ආණ්ඩුව ආපු වහාම වත්මන් ඔය රංග දිසානායක කියන පුද්ගලයා.
​ඔහු පත්වෙලා ඉතාම කෙටි කාලෙකින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් නන්දන ගුණතිලක මහතා කියනවා, ‘මොහු දේශපාලනයෙන් වියුක්ත පුද්ගලයෙක් නෙමෙයි. මොහු සක්‍රීයව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ යෙදිච්ච අපේ නීති අංශයේ වැඩ කරපු පුද්ගලයෙක්’ කියලා. ‘මගේ ළඟ ඕන නම් ලිඛිත සාක්ෂි තියෙනවා’ කියලත් කියනවා.

​දැන් මේ වගේ මේ දේවාලයක් වගේ හදපු ආයතනයක ප්‍රධානියෙක්ට මෙහෙම චෝදනාවක් ආවහම මේක බොරු නම් ඔහු කරන්න ඕනේ වහාම මේකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක. ඔහු කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. හැබැයි නන්දන ගුණතිලක මහතා ඉතාම අභිරහස් ආකාරයට මරණයට පත් වෙනවා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදටත් කටයුතු කරනවා. ​හැබැයි ඔහුට විරුද්ධව පුද්ගලයෙක්, ඔහු විසින් නඩු පවරපු පුද්ගලයෙක් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් දෙනවා, ‘මාව කාමරයට එක්කන් ගිහිල්ලා, මට මරණ තර්ජන කරලා, මහින්ද රාජපක්ෂගේ, නාමල් රාජපක්ෂගේ නම ලියලා අත්සන් කරපන් කියලා බලහත්කාරයෙන් මගෙන් අත්සන ගත්තා’ කියලා. අද වෙනකල් ඒක ගැන විමර්ශනයක් නැහැ.
​හැබැයි මෙන්න මේක තමයි මේ ලංකාවේ නීතිය අවභාවිතා කරන ආකාරය මේ රජය විසින්.”