October 5, 2026

විවාහ මංගල්‍යයන්, පවුලේ උත්සව හෝ වෙනත් පෞද්ගලික හමුවීම්වලදී ගීත ගායනා කිරීම හෝ වාදනය කිරීම වෙනුවෙන් කිසිදු බලපත්‍ර ගාස්තුවක් හෝ වෙනත් ගෙවීමක් අවශ්‍ය නොවන බව අමාත්‍ය විජිත හේරත් පැහැදිලි කරයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා ප්‍රතික්ෂේප කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැති හේරත් පවසන්නේ, මංගල උත්සව ඇතුළු පෞද්ගලික උත්සවවලදී ගීත ගායනා කිරීම සඳහා ජනතාවට කිසිදු බාධාවක් හෝ ගාස්තු අයකිරීමක් සිදු කර නොමැති බවයි.

ජාතික සහ අන්තර්ජාතික බුද්ධිමය දේපළ නීති යටතේ ගී පද රචකයන්ට සහ සංගීතඥයන්ට ඔවුන්ගේ නිර්මාණ සඳහා හිමිකම් ඇති බවත්, ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් සාධාරණ ගෙවීමක් තහවුරු කිරීමේ යාන්ත්‍රණයන් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බවත් ඔහු පැහැදිලි කරයි.

ගී පද රචකයන්ගේ සහ සංගීතඥයන්ගේ සංගම්වල නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ, මෙම රෝයල්ටි (ගරු ගාස්තු) ගෙවීම් අදාළ වන්නේ ප්‍රවේශ පත්‍ර අලෙවි කරන සංගීත සංදර්ශන සහ ප්‍රසංග වැනි ආදායම් උපයන වාණිජ මට්ටමේ උත්සව සඳහා පමණක් බවයි.

එවැනි උත්සවවලදී ගායක ගායිකාවන්ට කරනු ලබන ගෙවීම්වලට අමතරව, නිර්මාණය සඳහා දැක්වූ දායකත්වය අගයමින් ආදායමෙන් කොටසක් ගී පද රචකයන්ට සහ සංගීත නිර්මාණකරුවන්ට ද වෙන්කළ යුතු බව ඔවුහු පැවසූහ.

එමෙන්ම, මෙම නීති හෝ ගෙවීම් බලපත්‍ර ගාස්තු අයනොකෙරෙන පෞද්ගලික උත්සව, පවුලේ හමුවීම් හෝ විවාහ මංගල්‍යයන් සඳහා අදාළ නොවන බව අමාත්‍ය හේරත් වැඩිදුරටත් අවධාරණය කරයි.