October 5, 2026

යාපනය නල්ලූර් හි පිහිටි තිලීපන් ස්මාරක චතුරස්‍රයේ තාවකාලිකව ස්ථාපිත කර තිබූ තිලීපන්ගේ පිළිරුව පසුගියදා ඉවත්කිරීමට එරෙහිව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී විරෝධතාවයක් පවත්වා ඇත.

එක්සත් රාජධානිය පදනම් කරගත් ‘දෙමළ ඊළාම් ස්වයං නීර්ණය සඳහා වන ව්‍යාපාරය’ (MSDTE) විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාව ලන්ඩන් හි ඩවුනිං වීදියේ අංක 10 දරන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවස අසලින් ආරම්භ වී, එක්සත් රාජධානි විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය දෙසට ගමන් කර තිබේ.

තිලීපන්ගේ ගුණසමරු සැමරුම් අතරතුර මෙම තාවකාලික පිළිරුව ස්මාරකය පරිශ්‍රයේ සපයා තිබූ අතර, පසුගිය සැප්තැම්බර් 27 වැනිදා පොලිසිය විසින් එය ඉවත් කරනු ලැබීය.

එම පිළිරුව ඉවත් කිරීමත් සමඟ නල්ලූර් ප්‍රදේශයේද විරෝධතා හටගත් අතර, ප්‍රදේශවාසීහු තිලීපන් ස්මාරකය වෙත පැමිණ උපහාර දැක්වීමට කටයුතු කළහ.

පිළිරුව ඉවත්කිරීමට එරෙහිව විරෝධය පළකිරීමටත්, මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයේ අවධානය යොමුකිරීමටත් මෙම ලන්ඩන් විරෝධතාව පැවැත්වූ බව සංවිධායකයෝ පැවසූහ.