October 4, 2026

සබරගමුව විශ්වවිද්‍යාලය නැරඹීම සඳහා මොනරාගල සිට පැමිණි 125 දෙනෙකුගෙන් යුත් සිසුන් කණ්ඩායමක සිටි 16 හැවිරිදි සිසුවෙකු සමනලවැව ජල කාන්දුව අසලදී දිය පහරකට හසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිසුන් කණ්ඩායම කූරගල පුදබිම වන්දනා කිරීමට යන අතරතුර සමනලවැව වේල්ල නැරඹීමට ගොස් ඇත.

එම අවස්ථාවේදී සිසුන් තිදෙනෙකු දිය නෑම සඳහා සමනලවැවේ ජල කාන්දුව පවතින ප්‍රදේශයට බැස ඇති අතර, එහිදී එක් සිසුවෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී ඇත.

ලද තොරතුරකට අනුව සමනලවැව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් පසුව අතුරුදන් වූ සිසුවාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බිබිල, කිරියන්කුඹුර ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.