October 4, 2026

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරය වෙත ප්‍රවාහනය කළ රුපියල් මිලියන 16.6කට අධික වටිනාකමකින් යුත් ඩීසල් තොගයක් බලාගාරය වෙත ලබානොදී වෙනත් ස්ථානයකට මුදාහැර සිදුකර ඇති ඩීසල් වංචාවක් සම්බන්ධයෙන් පුත්තලම පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් අනුබද්ධ සමාගමක් වන ‘ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා (පෞද්ගලික) සමාගම’ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

බලාගාරයේ අභ්‍යන්තර විගණන කණ්ඩායමක් විසින් සිදුකරන ලද පරික්ෂණයකදී මෙම ජාවාරම අනාවරණය වී තිබේ.

පැමිණිල්ලට අනුව, 2025 දෙසැම්බර් මාසයේදී ඩීසල් බවුසර් දෙකක් සහ 2026 ජනවාරි මාසයේදී තවත් ඩීසල් බවුසරයක් වශයෙන් ඩීසල් තොග තුනක් බලාගාරය වෙත ලැබී නොමැති බව විගණන කණ්ඩායම විසින් සොයාගෙන ඇත.

මෙලෙස අතුරුදහන් වූ ඩීසල් තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 16.6 ලෙස තක්සේරු කර තිබේ.

කෙසේවෙතත්, අදාළ ඩීසල් තොග බලාගාරයට ලැබුණු බවට එහි ගබඩා භාරකරු විසින් පොත්පත්වල ව්‍යාජ සටහන් යොදා ඇති බවට අනාවරණය වී ඇත.

එහෙත් බලාගාරයේ ප්‍රධාන දොරටු දෙකෙහි පවතින ආරක්ෂක ලේඛන පරීක්ෂා කිරීමේදී, අදාළ දිනවල එම ඩීසල් බවුසර් බලාගාර භූමියට ඇතුළු වී නොමැති බව තහවුරු වී තිබේ.

මෙම අතුරුදහන් වූ ඩීසල් තොග තුන වෙනුවෙන් ලක්විජය බලාගාරය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 16.6ක මුදල සම්පූර්ණයෙන්ම ගෙවා ඇති බවද වාර්තා වී ට ඇත.

සිදුවීමට අදාළව බලාගාරයේ ගබඩා භාරකරුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන අදාළ ගබඩා භාරකරු, බවුසර් රථයේ රියදුරු සහ සහායකයා ඉලක්ක කරගනිමින් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුවූවක්ද යන්න සෙවීම සඳහා පොලිසිය විමර්ශන පරාසය පුළුල් කර ඇත.

මේ අතර, විගණන කණ්ඩායම විසින් මෙම පරීක්ෂණයේදී තවත් අක්‍රමිකතා කිහිපයක් සොයාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් පවසා තිබේ.

වර්තමාන සහ පෙර පැවති රජයන් යටතේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව සෙවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කරන ලද ජනාධිපති කමිටුවක් පරීක්ෂණ පවත්වන අතරතුර මෙම ඩීසල් වංචාව පිළිබඳ තොරතුරු ද කරළියට පැමිණ තිබීම විශේෂත්වයකි.