October 4, 2026

වැඩිදුර සාක්ෂි විමසීමකින් තොරව තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරිපත් කළ ඉල්ලීමට අදාළ නියෝගය මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් හෙට දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 1.8 ක පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වූ නඩුවේදී, පැමිණිල්ල පාර්ශ්වය විසින් එම චෝදනා සනාථ කිරීමට අපොහොසත් වී ඇති බව කබ්රාල් සිය ඉල්ලීම මගින් පෙන්වා දී තිබිණි.

මනෝජ් තල්ගොඩපිටිය (සභාපති), උදේශ් රණතුංග සහ බුද්ධික ශ්‍රී රාගල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී.

මෙම ගනුදෙනුව නීත්‍යානුකූල ආයෝජනයක් බවත්, කබ්රාල්ට එරෙහිව කිසිදු අපරාධමය වගකීමක් තහවුරු වී නොමැති බවත් ජනාධිපති නීතිඥ රත්නායක අධිකරණය හමුවේ පැවසීය. එකම චෝදනා පදනම් කරගනිමින් සිය සේවාදායකයාට එරෙහිව චෝදනා ගොනුකළ හතරවැනි අවස්ථාව මෙය බවද ඔහු පෙන්වාදුන්නේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුෂා සම්බන්දන්පෙරුම මෙහිදී පැමිණිල්ල මෙහෙයවන ලදී.