October 4, 2026

නවමාදිලියේ, ස්වයංක්‍රීය ධාවන පද්ධති සහිත, 4WD ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීම සඳහා රජය විසින් ලංසු කැඳවා ඇත.

මෙම ටෙන්ඩරය සැප්තැම්බර් 29 වැනි දින ප්‍රසිද්ධ කර ඇති අතර, ලංසු භාරගන්නා අවසන් දිනය 2026 ඔක්තෝබර් 22 වේ. මෙහි ප්‍රසම්පාදන ආයතනය වන්නේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයයි. මීට අමතරව ට්‍රැක්ටර් 175ක්, බැකෝ ලෝඩර් 100ක්, ගුලි බවුසර් 100ක් සහ ටිපර් රථ 160ක් මිලදී ගැනීමටද අමාත්‍යාංශය වෙනම ලංසු කැඳවා තිබේ.

මෙම ප්‍රසම්පාදන අතුරින් විශාලතම මිලදී ගැනීම වන්නේ ඩබල් කැබ් රථ ප්‍රසම්පාදනයයි. පසුගිය වසරේ ආන්දෝලනයට තුඩු දුන් වාහන 1,775ක ප්‍රසම්පාදනයට සාපේක්ෂව, මෙවර නවතම ටෙන්ඩරය මගින් තාක්ෂණික සහ සුදුසුකම් ලැබීමේ කොන්දේසි කිහිපයක් සැලකිය යුතු ලෙස ලිහිල් කර ඇත.

2025 ඔක්තෝබර් මාසයේදී, මුදල් අමාත්‍යාංශය විසින් නවමාදිලියේ 4WD ස්වයංක්‍රීය ඩීසල් ඩබල් කැබ් රථ 1,775ක් සඳහා ටෙන්ඩරයක් ප්‍රසිද්ධ කළේය. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබුණේ දින 12ක් (වැඩ කරන දින හතක්) වැනි කෙටි කාලයක් පමණි. එම ටෙන්ඩර් පිරිවිතරයන් තනි වාහන සැපයුම්කරුවකුට පමණක් සුදුසුකම් ලැබෙන පරිදි සකසා ඇති බවට එවකට ප්‍රශ්න කෙරිණි. පසුව එම ප්‍රසම්පාදනය ඉදිරියට කරගෙන නොගියේය.

2026 නව පිරිවිතරයන්ට අනුව, මීට පෙර පැවති අවම එන්ජින් ධාරිතාව වූ 2,500 cc වෙනුවට, 2,400 cc තරම් කුඩා එන්ජින් ධාරිතාවක් සහිත වාහන සඳහාද රජය මෙවර ඉඩ ලබා දී ඇත. එසේම පසුගිය වසරේ ටෙන්ඩරයට සාපේක්ෂව අවම එන්ජින් බල අවශ්‍යතාවය (engine power) සියයට 7කින් අඩුකර ඇති බැවින්, වාහනය මීට පෙර තරම් බලසම්පන්න වීම අනිවාර්ය නොවේ.

එමෙන්ම, වාහනයේ රෝද කැරකැවීමේ බලය හෙවත් ටෝක් (torque – බර ඇදීමේ සහ අභියෝගාත්මක මාර්ගවල ධාවනය කිරීමේ හැකියාව) අවශ්‍යතාවයද සියයට 12.5කින් පහත හෙළා ඇත. පසුගිය වසරේ ටෙන්ඩරයෙන් මිලිමීටර් 300ට වැඩි උසැති බිම් පරතරයක් (ground clearance) ඉල්ලා සිටියද, වර්තමාන පිරිවිතරයන්ට අනුව එය මිලිමීටර් 220ට වැඩි විය යුතුය. මෙම වෙනස නිසා සුදුසුකම් ලබන වාහන පරාසය තවත් පුළුල් වේ.

ඒ අනුව, පසුගිය වසරේ පිරිවිතරයන්ට යටතේ අනුමත වූ වාහනවලට වඩා අඩු එන්ජින් ධාරිතාවක් සහ අඩු ඇදීමේ බලයක් සහිත, අඩු බලසම්පන්න ඩබල් කැබ් රථ සඳහාද මෙම නව ටෙන්ඩරය හරහා ඉඩකඩ සැලසේ.

පසුගිය වසරේදී යම් එක් සැපයුම්කරුවකුට පමණක් වාසි වන පරිදි සකස් කර ඇති බවට චෝදනා එල්ල වූ අනෙකුත් පිරිවිතරයන්ද මෙවර වෙනස් කර ඇත. උදාහරණයක් ලෙස, ලංසුකරුවන්ට දේශීය සේවා මධ්‍යස්ථාන (service centres) 10ක් තිබිය යුතු වුවද, මින් ඉදිරියට හිමිකාරිත්වය තිබිය යුත්තේ පහක පමණි; නියෝජිත/ෆ්‍රැන්චයිස් (franchise/dealerships) මධ්‍යස්ථාන සඳහාද මෙවර ඉඩ ලබා දී ඇත. පසුගිය වසරේදී, සේවා මධ්‍යස්ථාන 10කම සම්පූර්ණ හිමිකාරිත්වය පැවතිය යුතු වූ අතර, මින් පහක් බස්නාහිර පළාතෙන් පිටත පිහිටා තිබීම අනිවාර්ය විය.

ඉදිරිපත් කරන වාහන මාදිලියේ මීට පෙර සිදුකර ඇති අලෙවි පළපුරුද්ද ඒකක 1,000 සිට ඒකක 500 දක්වා පහත හෙළා ඇත. සාමාන්‍‍ය වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 10 සිට රුපියල් බිලියන 8 දක්වා අඩුකර තිබේ. කෙසේ වෙතත්, ලංසු ඇපකරය (bid security) රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 250 දක්වා පස් ගුණයකින් ඉහළ නංවා ඇත. නව ටෙන්ඩරය මගින් ණය පහසුකම් හෝ ද්‍රවශීල වත්කම් (liquid assets) හරහා රුපියල් බිලියන 5ක මූල්‍ය ශක්තියක් පැවතීමද අනිවාර්ය කර ඇත.

(උපුටාගැනීම – Sunday Times)