October 2, 2026

සැප්තැම්බර් මාසය 2026 වසරේ වැඩිම ඩෙංගු මරණ සංඛ්‍යාවක් වාර්තා වූ මාසය බවට පත්වෙමින්, බංග්ලාදේශය පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය දැඩි ලෙස ඉහළ ගොස් තිබේ.

මේ අතරම සරම්ප උණ රෝගය ද වේගයෙන් පැතිර යාම හේතුවෙන් එරට රෝහල් පද්ධතියේ ධාරිතාව පිළිබඳව දැඩි සංකාව මතුව ඇත. පවතින වර්ෂාපතනය සහ කාලගුණික විපර්යාස හමුවේ ඔක්තෝබර් මාසයේදී ද ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බවට විද්වතුන් අනතුරු අඟවයි.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ඩෙංගු මරණ 245 ක් සහ රෝහල්ගත කිරීම් 79,620 ක් වාර්තා වී ඇත. ජූලි මාසයේදී මරණ 36 ක් සහ අගෝස්තු මාසයේදී මරණ 43 ක් වාර්තා වූ අතර, සැප්තැම්බර් මාසයේදී පමණක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 148 කි. ඒ අනුව වසරේ සමස්ත ඩෙංගු මරණවලින් 60% කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ සැප්තැම්බර් මාසයේදී පමණි.

බංග්ලාදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ නවතම වාර්තාවලට අනුව, අවසන් වරට ගතවූ පැය 24 තුළදීත් ඩෙංගු මරණ 6 ක් සහ අලුතින් රෝහල්ගත කිරීම් 1,948 ක් වාර්තා වී ඇත. මේ වන විට රටපුරා පුරා රෝගීන් 5,485 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.

ජහන්ගිර්නගර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය කීට විද්‍යාඥ කබීරුල් බෂාර් පෙන්වා දෙන්නේ, තමන්ගේ පුරෝකථන ආකෘතිවලට අනුව ඔක්තෝබර් මාසයේදී මෙම තත්ත්වය තවදුරටත් අහිතකර විය හැකි බවයි. සැප්තැම්බර් මාසයේ ලැබුණු වර්ෂාපතනය සහ මදුරුවන් බෝවීමට සුදුසු කාලගුණික තත්ත්වය හේතුවෙන් රෝග ව්‍යාප්තිය ඉදිරි සති කිහිපයේදී ද ඉහළ මට්ටමක පැවතිය හැකි බව හෙතෙම සඳහන් කරයි.

එබැවින්, රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට පෙර රෝහල් කාර්ය මණ්ඩල සූදානම් කිරීම, රෝග විනිශ්චය සේවා සහ අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් විධිමත් කිරීම කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතුව ඇත.