October 2, 2026

ඉන්දීය සහ ප්‍රංශ නාවික හමුදා අතර වාර්ෂිකව පැවැත්වෙන ‘වරුණ’ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයේ 24 වන අදියර සඳහා සහභාගී වීමට ඉන්දීය නාවික හමුදාවට අයත් INS Trishul යුධ නෞකාව ප්‍රංශයේ ටූලෝන් වරායට ළඟාවී තිබේ.

ප්‍රංශ නාවික හමුදාව විසින් සම්ප්‍රදායානුකූල දිය විසුරුම් ආචාරයක් පිරිනමමින් ඉන්දීය නෞකාව උණුසුම් ලෙස පිළිගත් බව ඉන්දීය රජය නිවේදනය කරයි.

මෙම අභ්‍යාසයේ වරාය ආශ්‍රිත පියවර අතරතුර, දෙරට නාවික හමුදාවන් අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ වෘත්තීය මිත්‍රත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් වෘත්තීය, ක්‍රීඩා සහ සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.

මෙහිදී INS ත්‍රිශූල් නෞකාවේ අණදෙන නිලධාරියා, ප්‍රංශ මෙහෙයුම් නියෝජ්‍ය ප්‍රධානී රියර් අද්මිරාල් මැකරා ඕක් හමුවී ප්‍රංශ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවල නිරත විය. තවද, දෙරට නාවික හමුදා අතර මෙහෙයුම් පහසුව සහ අන්‍යෝන්‍ය අවබෝධය ඉහළ නැංවීම වෙනුවෙන් අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩසටහන් ද නෞකා නිරීක්ෂණ චාරිකා ද පැවැත්විණි.

INS ත්‍රිශූල් නෞකාව තුළ විශේෂ සංස්කෘතික හමුවක් ද සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා ටූලෝන් හි නියෝජ්‍ය නගරාධිපති අද්මිරාල් (විශ්‍රාමික) ලෝරන්ට් ඉස්නාඩ් ඇතුළු ප්‍රංශ නාවික හමුදා නිලධාරීන් සහ සිවිල් ප්‍රභූන් පිරිසක් සහභාගී වූහ. මීට අමතරව පැවැත්වුණු සුහද වොලිබෝල් තරගයක් මගින් දෙරටෙහි නාවික හමුදා සාමාජිකයින් අතර පැවති මිත්‍රත්වය තවදුරටත් තහවුරු විය.

මෙම සංචාරය අතරතුර ඉන්දීය නාවික හමුදා පිරිස ප්‍රංශයේ ‘චාල්ස් ඩි ගෝල්’ ‘ෆෝබින්’ සහ ‘ලා ෆැයෙට්’ යන ප්‍රංශ යුධ නෞකාවන්හි නිරීක්ෂණ සංචාරයක නිරත වූ අතර, එහිදී විමාන වාහක නෞකා මෙහෙයුම් සහ ගුවන් සේවා පහසුකම් පිළිබඳව නිරීක්ෂණය කිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවිය.