October 3, 2026

රැකියා පොරොන්දු ලබාදී උස්බෙකිස්තාන ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා, බියගන්වා ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් වරදකරු වූ ත්‍රීරෝද රථ රියදුරකුට වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 10,000 ක දඩයක් කොළඹ මහාධිකරණය මගින් නියම කර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

කාන්තාවන් ගණිකා වෘත්තිය සඳහා ලබාගැනීම සම්බන්ධයෙන් වන දණ්ඩ නීති සංග්‍රහයේ 360 (අ) (1) වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

2021 ජනවාරි 01 වැනි දින කොළඹ හෝටලයකදී ලිංගික සූරාකෑමට ලක්වූ ඔක්සානා කාර්පෝවා නැමැති උස්බෙකිස්තාන ජාතික කාන්තාව මිනිස් ජාවාරමට ලක්වීම මෙම නඩුවට පදනම් වී ඇත.

ඒ අනුව, 2020 අගභාගයේදී ඔක්සානාට ශ්‍රී ලංකාවේ පදිංචිව සිටි ජැස්මින් ලෙස හඳුනාගත් තවත් උස්බෙකිස්තාන ජාතික කාන්තාවක මාර්ගයෙන් රැකියා යෝජනාවක් ලැබී තිබේ.

එහිදී ඇයට ඇමෙරිකානු ඩොලර් 1,500 ක මාසික වේතනයක් හෝ ළමා ආරක්‍ෂක රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති අතර එම පොරොන්දු මත පදනම්ව, ජැස්මින් විසින් සපයන ලද ගුවන් ටිකට්පත සහ වීසා බලපත්‍රය භාවිත කරමින් ඇය ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට ඇය පැමිණි පසු, ජැස්මින් සහ ඇගේ ශ්‍රී ලාංකික සැමියා වන ත්‍රීරෝද රථ රියදුරකු ලෙස සේවය කළ ලෝරන්ස් විසින් ඇයව භාරගෙන මීගමුව ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇත.

එදිනම ඇයව ලිංගික කටයුතු වෙනුවෙන් විදේශිකයකුට අලෙවි කර ඇති බව කියැවේ.

පසුව ඇයව වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවසක සිරකර තබා ඇති අතර, අදාළ යුවළ විසින් ඇගේ ගමන් බලපත්‍රය තමන් භාරයට ගෙන, සන්නිවේදන පහසුකම් අහිමි කර ඇගේ ගමනාගමන කටයුතු තදින් පාලනය කර තිබේ.

එම තත්ත්වයට මුහුණදීමට නොහැකි වූ ඔක්සානා, රහසිගතව දුරකථනයෙන් සිය මව අමතා තමා මුහුණ දී සිටින තත්ත්වය විස්තර කර ඇත.

පසුව ඇගේ මව විසින් උස්බෙකිස්තාන පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව, ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර, වින්දිත කාන්තාව බේරාගෙන සුරක්ෂිත නිවසකට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

නඩු විභාගයේදී විත්තිකරු තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කළද, බැංකු ගනුදෙනු වාර්තා ඇතුළු විද්‍යාත්මක හා ලේඛනමය සාක්ෂි මගින් පැමිණිල්ල විසින් චෝදනා සනාථ කරන ලදී.

විශේෂයෙන්ම, 2020 දෙසැම්බර් 31 වැනි දින කොළඹ හෝටලයකදී ලිංගික සේවය ලබාගත් පාරිභෝගිකයකු විසින් කරන ලද ගෙවීමෙන් කොටසක් ලෝරන්ස්ගේ පෞද්ගලික බැංකු ගිණුමට බැරකර ඇති බව බැංකු වාර්තාවලින් අනාවරණය වී ඇත.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කර ඇත්තේ, පැමිණිලි පාර්ශවය විසින් කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ කර ඇති බවත්, මෙය සංවිධානාත්මක අපරාධ මෙහෙයුමක් ලෙස හඳුනාගන්නා බවත්ය.

ඒ අනුව, විත්තිකරුට වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 10,000 ක දඩයක් නියම කිරීමට අධිකරණය තීන්දු කරන ලදී.