September 29, 2026

යාපනයේදී අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන දෙදෙනා සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන නොවැම්බර් 27 වැනි දින දක්වා කල්තැබීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ සාක්ෂි ලබා දුන් අතර, ඉදිරි දිනයන්හිදී ද කොළඹ අධිකරණ සංකීර්ණයේ පෙනීසිටිමින් සාක්ෂි ලබාදෙන ලෙස යාපනය මහේස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා නියෝග කර ඇත.

යාපනය අධිකරණයේ සිට ජ්‍යෙෂ්ඨ නීතිඥ නුවන් බෝපගේ විසින් මෙම සාක්ෂි මෙහෙයවීම සිදුකරන ලදී.

සාක්ෂි දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම සිදුවීම දීර්ඝ කාලයකට පෙර සිදු වූවක් බැවින් ඒ පිළිබඳව පැහැදිලි මතකයක් නොමැති බවයි.

ආරක්ෂක අංශ වෙත ලැබෙන සියලු තොරතුරු සෘජුවම ආරක්ෂක ලේකම්වරයා වෙත නොලැබෙන බවත්, පුද්ගලයන් විවිධ හේතූන් මත අතුරුදන් වන බැවින් ඒ සෑම සිදුවීමක්ම ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත ඉදිරිපත් නොවන බවත් හෙතෙම කියාසිටියේය.

තමන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවත්, අගමැති, ජනාධිපති ලේකම්, හමුදාපතිවරුන්, පොලිස්පති සහ බුද්ධි අංශ ප්‍රධානීන් එහි සාමාජිකයන් වූ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.

සිවිල් නිලධාරියකු ලෙස තමා සම්බන්ධීකරණ කටයුතු කළ අතර, භූමියේ සිදුවන සෘජු ක්‍රියාන්විතවලට සහභාගී වීමට තමාට අයිතියක් නොතිබූ බවත්, අයුතු කටයුතු කිරීමට කිසිදු උපදෙසක් දී නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

අතුරුදන්වීම් සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් නීතිඥවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ කියාසිටියේ, එවැනි චෝදනා රටේ නම විනාශ කිරීම සහ දේශපාලන වාසි ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අසත්‍ය ප්‍රකාශ පමණක් බවයි.