September 29, 2026

ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙස වත්මන් ආණ්ඩුවට බලපෑම් කිරීමේ අරමුණින්, මෑතකදී අනුරාධපුරයේ පැවැති ජන රැළියට නොදෙවෙනි වන අයුරින් තවත් දැවැන්ත මහජන රැළියක් සංවිධානය කිරීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී.වී. චානක සදහන් කර ඇත්තේ, රට තුළ නාමල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඉහළින් අගයන ජනතාවක් සිටින බවත්, 2029 වසරේදී අනුර කුමාර දිසානායක පරාජය කිරීමට නියමිත නාමල් රාජපක්ෂ සිරගත කිරීමට විවිධ උත්සාහයන් ක්‍රියාත්මක වුවද රටේ ජනතාව ඔහුව ආරක්ෂා කිරීම සඳහා එකතු වෙමින් සිටින බවත්, මේ ආරම්භ කර තිබෙන්නේ එම වැඩපිළිවෙළ බවත්ය.

පොහොට්ටු පක්ෂය විසින් සිය ආධාරකරුවන් යළි බලමුලු ගැන්වීමට සහ ආණ්ඩුවට එරෙහිව දේශපාලන පීඩනය තීව්‍ර කිරීමට ගෙනයන උත්සාහයන් අතරතුර චානක මෙම අදහස් පළකර ඇත.