September 28, 2026

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සඳහා සහාය වීමට චීන විශේෂඥ කණ්ඩායමක් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හරහා මෙම සිදුවීම පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට ද පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ මෙම පිපිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් වෙනම පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි.

පෙරේදා අලුයම 4:00 ට පමණ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි මෙම පිපිරීම සිදුවිය.

ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

පිපිරීමෙන් රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයට සහ ආසන්නයේ පිහිටි ගොඩනැගිලි කිහිපයකට දැඩි හානි සිදුවිය.

සිද්ධියෙන් රෝහල් සේවකයන් 07 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, බරපතල තත්ත්වයේ පසුවූ එක් අයෙකු පසුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ හබරණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.