September 27, 2026

කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට විසඳුම් දෙමින් සහ පොදු ප්‍රවාහන සේවය වඩාත් විධිමත් කිරීමේ අරමුණින්, බස් රථ 104 කින් සමන්විත නව මෙට්‍රෝ බස් සේවාව සැප්තැම්බර් 29 වැනිදා සිට බස්නාහිර පළාතේ මාර්ග 7 ක ධාවනයට එක් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම නව බස් රථ ඇණිය ධාවනයට එක්කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිත බවත් මෙට්‍රෝ බස් සමාගමේ සභාපති එස් එම් යූ පී තිලකරත්න පැවසීය.

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් මාර්ග 7 ක් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම නව බස් සේවාව මගින්, නියමිත කාලසටහනකට අනුව, නියමිත මාර්ග ඔස්සේ මගීන්ට සුරක්ෂිතව සහ සුවපහසුව සහිතව තම ගමනාන්ත කරා ළඟාවීමට පහසුකම් සැලසේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වන්නේ කොළඹ නගරයට ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව, විශේෂයෙන්ම එක් මගියෙකු පමණක් ගමන් ගන්නා වාහන සංඛ්‍යාව අවම කිරීම බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වර්තමානයේ බොහෝ පිරිසක් කාර්යාල වෙත ගමන් කිරීමට පෞද්ගලික වාහන භාවිතා කරන අතර, වැඩි පිරිසක් තනිවම ගමන් කිරීම හේතුවෙන් කාර්යබහුල වේලාවන්හිදී අධික රථවාහන තදබදයක් නිර්මාණය වන බවද ඔහු මහතා මෙහිදී පෙන්වා දුන්නේය.