September 27, 2026

පානීය දියර රැගෙන යෑම සඳහා භාවිත කරන නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සහ පොලිමර් ද්‍රව්‍යවලින් නිෂ්පාදිත ළදරු කිරි බෝතල් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

පසුගිය සතිය පුරා ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී වැටලීම් සහ පරීක්ෂා කිරීම් 144ක් සිදුකර ඇති අතර, එහිදී ප්‍රමිතියට පටහැනිව අලෙවි කිරීමට තබා තිබූ භාණ්ඩ 1,400කට අධික ප්‍රමාණයක් නිලධාරීන් විසින් නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන ඇත.

සිදුකරන ලද සමස්ත පරීක්ෂාවන් අතුරින් SLS 1616 ප්‍රමිතියට අදාළ නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සම්බන්ධයෙන් වැටලීම් 96ක් සහ SLS 1306 ප්‍රමිතියට අදාළ ළදරු කිරි බෝතල් සම්බන්ධයෙන් වැටලීම් 48ක් ඇතුළත් වේ.

2025 ඔක්තෝබර් 01 දිනැති අංක 2456/42 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද විධාන අංක 96 මඟින් මෙම භාණ්ඩ සඳහා වන අවශ්‍යතා ප්‍රකාශයට පත් කර ඇති අතර, එකී විධානය 2026 අප්‍රේල් 01 වැනි දින සිට බලාත්මක කර ඇත.

දේශීයව නිෂ්පාදනය කරනු ලබන සියලුම නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් (SLS 1616) සහ ළදරු කිරි බෝතල් (SLS 1306) සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් නිකුත් කරනු ලබන නිල SLS නිෂ්පාදන සහතික ලාංඡනය (SLS Product Certification Mark) සටහන්ව තිබීම අනිවාර්ය වේ. නිෂ්පාදනයක් මත ‘ප්‍රමිතියට අනුකූලයි’ යනුවෙන් සඳහන් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර SLS ලාංඡනය නොමැති දේශීය නිෂ්පාදන අලෙවිය නීතිවිරෝධී වේ.

ආනයනික නිෂ්පාදන සඳහා SLS ලාංඡනය දැරීම අනිවාර්ය නොවන නමුත්, එම නිෂ්පාදන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් ක්‍රියාත්මක කරනු ලබන Import Inspection Scheme (ආනයන පරීක්ෂණ ක්‍රමවේදය) යටතේ නිසි ලෙස පරීක්ෂාවට ලක්කර අලෙවිය සඳහා පූර්ව අනුමැතිය ලබාගෙන තිබීම අනිවාර්ය වේ.

පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙවැනි වෙළෙඳපොළ නිරීක්ෂණ සහ වැටලීම් ඉදිරියටත් තදින්ම ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම්දෙයි.