September 27, 2026

උතුරු ලන්ඩනයේ පිහිටි පාසලක් වෙත යමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 16 හැවිරිදි පසැල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බ්‍රිතාන්‍ය පොලිසිය විසින් මෙලෙස මියගොස් ඇති බවට හඳුනාගෙන ඇත්තේ, හයිගේට් පාසලේ 12 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි මෙලිසා ප්‍රේමරත්න නැමැති සිසුවියයි.

සැප්තැම්බර් 24 වැනි බ්‍රහස්පතින්දා පෙර්වරු 8:13 ට පමණ හයිගේට් හි නොර්ත් රෝඩ් හිදී පදිකයකු සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ මෙම අනතුර පිළිබඳව තොරතුරු ලැබුණු බව ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පවසයි. හදිසි සහන සේවා ස්ථානයට ළඟා වූ නමුත්, මෙලිසා අනතුර සිදු වූ ස්ථානයේදීම මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මෙලිසා පාසල වෙත යමින් සිටි බව හයිගේට් පාසලද තහවුරු කර ඇත.

ප්‍රවේශම් සහගත නොවන ලෙස රිය පදවා මරණය සිදුකිරීමේ සැකය මත රථය පැදවූ 68 හැවිරිදි පුද්ගලයකු අනතුර සිදු වූ ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් පරීක්ෂණ ඉදිරියට සිදුවන අතරතුර ඔහු පසුව ඇප මත මුදාහැර තිබේ.

අනතුරට ලක්වූ රථය ‘ඇඩිසන් ලී’ නමැති පෞද්ගලික කුලී රථ සමාගමකට අයත් එකක් වන අතර, එම සමාගම ප්‍රකාශ කර ඇත්තේ, තමන් පොලිස් පරීක්ෂණ සඳහා පූර්ණ සහය ලබාදෙන බවයි.

අනතුර සිදුවූ අවස්ථාවේ එම ප්‍රදේශයේ තිබූ ඩෑෂ්කෑම්, සීසීටීවී හෝ ජංගම දුරකථන දර්ශන ඇති අයෙක් වේ නම් හෝ අනතුර දුටු සාක්ෂිකරුවන් වේ නම් ඉදිරිපත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.