September 26, 2026

දෙවැනි එක්දින තරගයෙන් එංගලන්තය පරාජය කිරීමට සමත් වුවද, එම ජයග්‍රහණයෙන් පමණට වඩා උද්දාමයට පත් නොවී ඉදිරි තරගයට මුහුණදෙන ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉල්ලා සිටියි.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කරමින්, දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16 ක විශිෂ්ට ජයක් වාර්තා කළේය. එහිදී ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පන්දු 100 කදී ලකුණු 121 ක් රැස්කරමින් ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා බවට පත්විය.

තරගයෙන් අනතුරුව ස්කයි ස්පෝර්ට්ස් නාලිකාව සමඟ අදහස් දක්වමින් සංගක්කාර පැවසූයේ, මෙම ජයග්‍රහණයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශ්වාසය ගොඩනගා ගත යුතු අතරම තීරණාත්මක අවසන් තරගයට අලුත් තරගයක් ලෙස මුහුණදිය යුතු බවයි.

“කණ්ඩායමක් ලෙස මෙම ජයග්‍රහණයෙන් පසු මඳක් විවේක ගෙන, තමන්ගේ දක්ෂතා සහ ක්‍රියාත්මක කිරීම් පවතින්නේ කුමන මට්ටමේද යන්න නැවත තක්සේරු කරගත යුතුයි” සංගක්කාර පැවසීය.

ජයග්‍රහණය නිසා දැඩි ලෙස උද්දාමයට පත්ව, තීරණාත්මක තරගයද පෙර තරගයේම ඉදිරි කොටසක් ලෙස සිතා ක්‍රීඩා කිරීමට යෑමෙන් වළකින ලෙසට ඔහු අවවාද කළේය. “නෑ, එය අලුත් තණතීරුවක්, අලුත් දිනයක්. ඒ නිසා ඔවුන් නැවත මුල සිට ආරම්භ කළ යුතුයි” ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා පිල සතු සටන්කාමීත්වය, ජයග්‍රාහී මානසිකත්වය සහ විශ්වාසය කිසිසේත්ම වෙනස් නොකළ යුතු බවද ඔහු සඳහන් කළේය.

පිතිකරණයෙන් සාර්ථක සබඳතා ගොඩනැගීම, බුද්ධිමත්ව පන්දු යැවීම සහ මූලික ක්‍රිකට් යූක්තීන් නිසි ලෙස අනුගමනය කිරීම තුළින් ලොව ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් හමුවේ පවා සාර්ථක වීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බව සංගක්කාර පෙන්වාදුන්නේය.

එංගලන්ත ඉනිම හඹායෑමේදී ජොස් බට්ලර් ආබාධයකට ලක්වීම තරගයේ දැවැන්ත පෙරළියක් ඇති කළ අවස්ථාවක් ලෙස හැඳින්වූ සංගක්කාර, බට්ලර් තරගයේ ගමන එංගලන්තය දෙසට හරවමින් සිටි මොහොතක එම සිදුවීම ශ්‍රී ලංකාව නැවත තරගයට අවතීර්ණ කරවීමට හේතු වූ බව පැවසීය.

දෙරට අතර තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කෙරෙන තීරණාත්මක අවසන් එක්දින තරගය ඉදිරි ඉරිදා ‘ඕවල්’ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.