September 26, 2026

ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ්, සිය මංගල එෆ්.අයි.ඒ. ෆෝමියුලා 3 (FIA Formula 3) තරඟාවලිය සාර්ථකව නිමාකිරීමට සමත් විය.

මැඩ්රිඩ් හි පැවැති අවසාන තරඟයේදී මිනිත්තු 1:50.023 ක දක්ෂ කාලයක් සටහන් කරමින් 9 වැනි ස්ථානයට සුදුසුකම් ලැබීමට ඔහු සමත් වූ අතර, එය ඔහුගේ සමයේ හොඳම තරඟ පූර්ව සුදුසුකම් ලැබීම වේ.

යුරෝෆෝමියුලා ඕපන් තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගැනීමෙන් අනතුරුව ෆෝමියුලා 3 වෙත පිවිසි යෙවාන්, ආරම්භක මෙල්බර්න් තරඟ වටයේ සිටම දැඩි පසුබෑමකට මුහුණදුන්නද, ක්‍රමයෙන් තම දක්ෂතා වර්ධනය කර ගැනීමට සමත් විය. එහිදී විශිෂ්ටතම සන්ධිස්ථානය සටහන් වූයේ සිල්වර්ස්ටෝන් තරඟ වටයේදී ය. එහිදී ස්ප්‍රින්ට් තරඟයේ දෙවැනි ස්ථානය දිනාගනිමින්, එෆ්.අයි.ඒ. ෆෝමියුලා 3 තරඟාවලියක ජය සංකේත වේදිකාවට (Podium) නැගි ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට යෙවාන් ඩේවිඩ් ඉතිහාසගත විය.

මීට අමතරව මොන්සා තරඟ වටයේදී ස්ථාන 25 ක් ඉදිරියට පැමිණෙමින් තරඟ දෙකේම 4 වැනි ස්ථානය දිනාගැනීමට ඔහු සමත් විය. මෙම තරඟ වාරය පුරාම තමා ලැබූ ප්‍රගතිය පිළිබඳව යෙවාන් සතුට පළකළේය.

2026 වසරේදී අන්තර්ජාතික තරඟාවලිය නියෝජනය කරන අතරතුර තම උසස් පෙළ විභාගයට ද පෙනීසිටීමට ඔහුට සිදුවිය. මැලිබන්, ඩිමෝ සමූහය, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, ෆයිඩම් ෆිනෑන්ෂල් සහ ලංකා මෝටර් රථ ක්‍රීඩා සමාජය ඇතුළු දේශීය අනුග්‍රාහකයින්ගේ සහ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ විශාල සහයෝගයක් තමාට ලැබුණු බව යෙවාන් වැඩිදුරටත් සඳහන් කළේය.