September 24, 2026

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සහ වෛද්‍ය වෘත්තිකයින්ගෙන් අය කර ගන්නා බදු සම්බන්ධයෙන් සහ මන්ත්‍රීවරුන්ට ලබාදෙන බදු සහන සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ රටේ ඉදිරි අනාගතය බිහිකරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ බදු ඉහල අගයක පවතින බවයි.

වෛද්‍යවරුන් පවා මෙම ගැටලුව පිළිබඳ අදහස් දක්වා ඇති බවත්, මෙම ගැටලුව ඔවුන්ට පෞද්ගලිකව බලපෑම් එල්ල කර ඇති බවත් එවන් පසුබිමක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදු සහන ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

”ඔක්කොටම බදු ගහද්දි මන්ත්‍රීවරුන්ට විතරක් ඇයි බදු සහන දෙන්නේ. මගෙන් පටන් ගන්න ජනතාවට නොලැබෙන දේ අපිට ඕනත් නෑ. අපේ ශ්‍රී ලාංකික ජනතාවට බදු ගහලා ඔබේ ආණ්ඩුව සුද්දන්ට සහනාධාර දෙනවා. මඟුලක් තිබ්බත් බදු ගහනවා. බෑන්ඩ් එකටත් බදු ගහනවා. දැන් ජීවත් වෙන්න අමාරුයි අමාරුයි. ජීවත් වෙන්න පුළුවන් රටාව හදන්න ඕන.

ඛනිජ තෙල් සංස්ථාව තියෙනවා තරග කරන පිටරට කම්පැනි තුන හතරක් තියෙනවා. උපරිම මිලක් දාලා නෑ. ඇයි මෙවැනි සහනාධාර සුද්දන්ට දෙන්නේ. අපි සහනාධාර දෙන්න ඕන නෑ. ඛණිජ තෙල් සංස්ථාවට තමා සහන දෙන්න ඕන. තෙල් වලට අවශ්‍ය අයට සහනාධාර දෙන්න. බාල ගල්අඟුරු සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නෙ ඉදිරි වැඩපිළිවෙල මොකක්ද.

අද හැම එකම පැලවත්ත වෙලා. හැම එකම පැලවත්ත වී ගෙන යනවා. විදුලි බිල සියයට තිස්පහකින් අඩු කරනවා කිව්වා. අවුරුදු දෙකක් ගියා අඩු කරලා තියෙනවාද? ඩීසල් මාෆියාවට යටවෙලා පුනර්ජනනීය බල ශක්තිය දේශීය ව්‍යවසායකයින් අනතුරක.” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී අදහස් පළ කළේය.