September 25, 2026

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇල්ල ප්‍රදේශයේ ආපනශාලාවකට එරෙහිව ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගයකින් රුපියල් මිලියනයක දඩයක් නියම කර ඇත.

”මැන්ඩෙලා කැෆේ ඇන්ඩ් බාර් පුද්ගලික සමාගම” ආයතනයේ සිදුකළ වැටලීමේදී 2430/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 93 දරන නියෝගය යටතේ ලීටර් 1 පානීය ජල බෝතලයක් සඳහා නියම කර තිබූ රුපියල් සියයක උපරිම සිල්ලර මිල ඉක්මවා එම බෝතලයක් රුපියල් 200 කට අලෙවි කර තිබීම අනාවරණය කරගෙන ඇත.

මෙම සිදුවීමට අදාළ නඩුව 2026 සැප්තැම්බර් 23 දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් රුපියල් මිලියනයක දඩයක් නියම කර තිබේ.

උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම ඇතුළු වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.