September 25, 2026

ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ත්‍රෛපාර්ශ්වික වැඩපිළිවෙල පිළිබඳව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛාලිඩ් නසර් අල් අමේරි සහ නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි අතර පැවැති හමුවකදී සාකච්ඡා වී තිබේ.

තානාපතිවරයා සැප්තැම්බර් 23 වැනි දින පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායකවරයා හමුවූ අතර, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින දීර්ඝකාලීන සුහද සබඳතා පිළිබඳව නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී කරුණු දක්වා ඇති අතර, විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන විශාල ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය මගින් ලැබෙන ආර්ථික දායකත්වය ඇතුළුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය අගය කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ යෑම ද අගය කර ඇති නියෝජ්‍ය කථානායකවරයා, සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත.

පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීම සහ විවිධ ක්ෂේත්‍රයන් හි සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් දසවැනි පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා – එක්සත් අරාබි එමීර් රාජ්‍ය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය කථානායකවරයා පවසා තිබේ.

දෙරටේම ආර්ථිකයන් සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලබාදෙන දායකත්වය අගය කර ඇති තානාපති අල් අමේරි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් කුසලතා පූර්ණ, සන්සුන් මෙන්ම ගෞරවයෙන් කටයුතු කරන පිරිසක් ලෙස ඉහළින් අගය කරන බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින ශක්තිමත් වෙළඳ සබඳතා පිළිබඳව ද අවධානය යොමුකර ඇති තානාපතිවරයා, දෙරට අතර ශක්තිමත් ගුවන් සබඳතා පවත්වාගැනීමේ වැදගත්කම පෙන්වාදී තිබේ.