September 25, 2026

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වේදිකාවට පැමිණෙත්ම, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් රැසක් විරෝධය පාමින් සභාවෙන් පිටව ගොස් තිබේ.

ගාසා තීරයේ සිදුවන යුධ ගැටුම් සහ මානුෂීය අර්බුදයට විරෝධය පළ කිරීම සඳහා පලස්තීන නියෝජිත පිරිස කළ ඉල්ලීමකට අනුව මෙම විරෝධතාව සංවිධානය වී තිබිණි.

අගමැති නෙතන්යාහු කතාව ආරම්භ කිරීමට ආසන්න වන විටම නියෝජිතයින් සිය ආසනවලින් නැගිට සභා ගර්භයෙන් පිටතට ගිය අතර, එම අවස්ථාවේදී සභාවේ වැඩි කොටසක් හිස් වී ගිය බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර, සභාවේ නිශ්ශබ්දතාව පවත්වා ගන්නා ලෙස මුලාසනයට අවධානය යොමු කිරීමට සිදුවිය.

කෙසේවෙතත්, එල්ල වූ දැඩි විවේචන හමුවේ නෙතන්යාහු සිය කතාව පවත්වාගෙන ගිය අතර, සභාවෙන් පිටව ගිය නියෝජිතයන් “පිරිහණු බියගුල්ලන්” ලෙස හඳුන්වමින් දැඩි ලෙස විවේචනය කළේය.

ඊශ්‍රායලය ස්වයං ආරක්ෂාව උදෙසා ක්‍රියා කරන බවත්, ගාසා තීරයේ ජන සංහාරයක් සිදුවන බවට එල්ල වන චෝදනා පදනම් විරහිත බවත් ඔහු එහිදී පැවසීය.

මීට අමතරව, එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පිහිටි නිව්යෝර්ක් නගරයේ වීදි පුරා ද නෙතන්යාහුගේ පැමිණීමට එරෙහිව විරෝධතා පැවැත්වූ අතර, පොලිසිය විසින් විරෝධතාකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අන්තර්ජාතික ප්‍රජාවගෙන් එල්ල වන දැඩි රාජ්‍යතාන්ත්‍රික බලපෑම් හමුවේ ඊශ්‍රායලය මේ වන විට හුදකලා වෙමින් පවතින බව මෙම සිදුවීමෙන් පැහැදිලි වන බව විශ්ලේෂකයෝ පෙන්වාදෙති.