September 25, 2026

වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින නඳුන් චින්තක (හරක් කටා) නමැත්තාගේ ජීවිතයට හානි කරමින් සාක්ෂි වසන් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් ඔහුගේ පියා වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

2026 සැප්තැම්බර් 24 වවැනි දිනැතිව යොමුකර ඇති මෙම ලිපිය මගින් ඔහු පෙන්වාදෙන්නේ, තංගල්ල පැරණි බන්ධනාගාරයේ සිට වැලිසර බන්ධනාගාරය වෙත තම පුතු මාරුකර යැවීමෙන් පසු ඔහුගේ ජීවිතයට බරපතල තර්ජනයක් මතුව ඇති බවයි.

වැලිසර බන්ධනාගාරය යනු නියමිත පරිදි ඉදිකරන ලද බන්ධනාගාරයක් නොවන අතර, එහි රඳවා සිටින පිරිස අතර උසාවි භූමියේදී වෙඩි තබා ඝාතනය කිරීමට සහ සයනයිඩ් ලබාදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රබල පාතාල සාමාජිකයින් ද වන බව ලිපියේ සඳහන් වේ.

පසුගිය සැප්තැම්බර් 22 වැනිදා අදාළ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමකින් පසු තම පුතුට සහ නීතිඥවරුන්ට ඔහුව හමුවීමට පවා අවස්ථාව ලබා දී නොමැති බව පියා පවසයි.

පාතාල කල්ලි අතර ගැටුමක් ලෙස හඟවමින් තම පුතුගේ ජීවිතයට හානි කිරීමට සැලසුම් කරන්නේදැයි බරපතල සැකයක් පවතින බව ද ඔහු සඳහන් කරයි.

මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් රැසක් විසින් සිදුකරන ලද කෝටි ගණනක අල්ලස් ගැනීම්, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව සිය පුතු විසින් සාක්ෂි සහිතව අනාවරණය කිරීමට සූදානම් වීම බව ලිපිය මගින් පෙන්වා දී ඇත.

තම පුතු යම් නීති විරෝධී ක්‍රියාවක් කර ඇත්නම් ඊට නීත්‍යානුකූලව දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටින පියා, ආණ්ඩු දෙකක් සහ පොලිස්පතිවරුන් තිදෙනෙකු යටතේ පැය 26,000කට වඩා වැඩි කාලයක් CID සහ TID මගින් ප්‍රශ්න කළද, කිසිදු මනුෂ්‍ය ඝාතනයකට හෝ ආයුධ සන්නද්ධ අපරාධයකට චෝදනා එල්ල කිරීමට නොහැකි වී ඇති බවද අවධාරණය කරයි.

එබැවින් මෙම දූෂිත රාජ්‍ය යාන්ත්‍රණය අනාවරණය වීමට පෙර තම පුතුගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට වහා මැදිහත් වන ලෙස ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.