September 24, 2026

ඔබ අද බැහැර කරන ප්ලාස්ටික් බෝතලයක් හෙට දිනයේ ඔබේ ප්‍රියතම කෑමක් බවට පත් වුවහොත්? ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (3D printing), විද්‍යාත්මක ක්‍රමවේද සහ විශේෂිත ක්ෂුද්‍ර ජීවීන් භාවිත කරමින් අපද්‍රව්‍ය ලෙස බැහැර කරන ප්ලාස්ටික් සහ ශාක කොටස් බිඳහෙළා රසවත් බිස්කට් (Cookies) වර්ගයක් නිෂ්පාදනය කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව සිටිති.

අභ්‍යවකාශගාමීන් සඳහා ආහාර නිපදවීමට අමතරව, ප්ලාස්ටික් දූෂණයට සහ ලෝකයේ පවතින සාගින්නට විසඳුමක් ලෙස ද මෙම ක්‍රමවේදය භාවිත කළ හැකි බව විද්‍යාඥයෝ පවසති.

ප්ලාස්ටික්වලින් බිස්කට් හදන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ ඉපදී හැදී වැඩුණු, දැනට ඇමරිකාවේ දකුණු ඉලිනෝයි විශ්වවිද්‍යාලයේ සේවය කරන මහාචාර්ය ලහිරු ජයකොඩි ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් මෙම නිෂ්පාදනය හඳුන්වා දී ඇත්තේ “µBites” (Microbites) යන නමිනි.

ජානමය වශයෙන් වෙනස් කරන ලද යීස්ට් ඇතුළු ක්ෂුද්‍ර ජීවීන් ලවා ප්ලාස්ටික් (PET) කොටස් දිරවීමට සැලැස්වීම මෙහිදී සිදුවේ. එහිදී එම ප්ලාස්ටික් අඩංගු රසායනික ද්‍රව්‍ය, ප්‍රෝටීන් සහ සෞඛ්‍යාරක්ෂිත මේද බවට පරිවර්තනය වේ. පසුව ඊට පිටි, තන්තු (Fibre) සහ පැණිරස එකතු කර සාදාගන්නා මිශ්‍රණය 3D ප්‍රින්ටරයක් හරහා බිස්කට් හැඩයට සකසා අවන් (Oven) එකක් තුළ තබා පුළුස්සා ගනු ලැබේ. මෙම බිස්කට්වලින් වැනිලා සුවඳක් වහනය වන බව මහාචාර්යවරයා පවසයි.

නාසා ජයග්‍රහණයේ සිට සාමාන්‍ය ජනතාව වෙත

2021 වසරේදී මෙම නව නිපැයුම නාසා ආයතනයේ ‘Deep Space Food Challenge’ තරගාවලියේ ජයග්‍රහණයක් ද හිමිකර ගත්තේය.

ප්ලාස්ටික් මෙන්ම ආහාර ද කාබන්වලින් සමන්විත බැවින් මෙය සාර්ථක කර ගැනීමට හැකි වූ බව පවසන මහාචාර්ය ජයකොඩි, ඉදිරියේදී අභ්‍යවකාශයට පමණක් නොව පෘථිවියේ වෙසෙන මිනිසුන්ට මෙන්ම සතුන්ට ද ආහාරයක් ලෙස මෙය ලබාදීමට බලාපොරොත්තු වේ.

කෙසේවෙතත්, මෙය තවමත් මිනිසුන්ගේ ආහාර වේලට එක් කිරීමට නිල රාජ්‍ය අනුමැතිය හිමිවී නොමැති අතර, දැනට පවතින අධික නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීමට පර්යේෂකයන් වැඩිදුරටත් කටයුතු කරමින් සිටී. මෙය මයික්‍රෝප්ලාස්ටික් (Microplastics) ශරීරගත වීමක් නොව, ප්ලාස්ටික් සම්පූර්ණයෙන්ම ආහාරයට ගත හැකි මූලද්‍රව්‍ය බවට පත් කිරීමක් බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් පැහැදිලි කරයි.