September 24, 2026

ළමා නිවාසයක දරුවන් පිරිසකට කිහිපදෙනකු විසින් පහරදෙන දර්ශන ඇතුළත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සිදුව ඇති ළමා නිවාසය පිහිටි යාපනය අච්චුවෙලි ප්‍රදේශයට නිලධාරීන් කණ්ඩායමක් පිටත් කර හැරි බව එම අපයෝජන නිවාරණ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි දර්ශිකා කුමාරි පවසයි.

මෙම ළමා නිවාසයේ විවිධ වයස්වල පසුවන දරුවන් දණගස්වා අතින් පයින් හා ලණුවකින් පන්න පන්නා පහර දෙන අයුරු ද උඩුකයෙහි ඇඳුම් පවා නැති එම පිරිස ඇතැම් දරුවන් බිත්තියට හේත්තු කර පයින් පහරදෙන අයුරු ද එම වීඩියෝවේ දැක්වේ.

දරුවන්ට අමානුෂික අයුරින් පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව එම කාර්යාංශය පවසයි.(දිවයින)