September 24, 2026

රජයේ රැකියා, නිවාස සහ ණය ලබාදෙන බව පවසමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල ලිපි ශීර්ෂ, මුද්‍රා සහ අත්සන් ව්‍යාජ ලෙස සකස් කර ජනතාවගෙන් මුදල් වංචා කළ පුද්ගලයින් පස්දෙනෙකු නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යාපනය ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු සහ නුවරඑළිය, හැටන් සහ කොටගල ප්‍රදේශවල සන්නිවේදන මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය කිහිපදෙනෙකු ද වන බව පොලිසිය පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් ඇතුළු උසස් නිලධාරීන්ගේ අත්සන් ව්‍යාජ ලෙස යොදමින්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වැඩබලන ගණකාධිකාරීවරයා සහ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් මොවුන් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත.

සැකකරුවන්ට මුදල් ගෙවූ පුද්ගලයින්ට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, ඔවුන් වෙත නිකුත් කර තිබූ ලිපි දිස්ත්‍රික් ලේකම්වරිය වෙත යොමුකර පරීක්ෂා කිරීමේදී මෙම ව්‍යාජ ලිපි ශීර්ෂ සහ අත්සන් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව, දිස්ත්‍රික් ලේකම්වරිය විසින් නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

හැටන් සහ කොටගල ප්‍රදේශවල තවත් කිහිපදෙනෙකුගේ සහාය ඇතිව සැකකරුවන් ප්‍රදේශවාසීන්ගෙන් මෙලෙස මුදල් ලබාගෙන ඇති අතර, ලබාගත් මුදල් සඳහා සාක්ෂි වශයෙන් ව්‍යාජ මුද්‍රා තැබූ නිල ලිපි ශීර්ෂ සහිත ලිපි නිකුත් කර ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

මෙම වංචනික ලේඛන සකස් කිරීමට භාවිත කළ ව්‍යාජ මුද්‍රා, ලිපි ශීර්ෂ සහ පරිගණක කිහිපයක් ද සැකකරුවන් භාරයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් සඳහන් කළේ, ඇයගේ සහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාගේ නම් භාවිත කරමින් විවිධ උත්සව සංවිධානය කරමින් ද ජනතාවගෙන් මුදල් එකතු කර ඇති බවයි.

අදාළ උත්සව සඳහා දිස්ත්‍රික් ලේකම්වරිය පැමිණෙන බව සංවිධායකයින්ට දැනුම් දී, පසුව අපේක්ෂිත පරිදි පැමිණීමට නොහැකි බව දුරකථනයෙන් දන්වා වැඩසටහන් තවදුරටත් පවත්වාගෙන යන ලෙස උපදෙස් දීමේ උපක්‍රමයක් ද සැකකරුවන් විසින් භාවිත කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.