September 23, 2026

පන්නල ප්‍රදේශයේදී ඊයේ වෙඩි තැබීමකින් අනතුරුව සිදුකළ වාහන පරීක්ෂාවේදී හෙරොයින් තොගයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 2.6කට අධික මුදලක් සොයාගත් බව පොලිසිය අනාවරණය කරයි.

ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි.

මෝටර් රථයක මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී සැප්තැම්බර් 22 වැනි දින මෙලෙස අත්අඩංගුවට ගැනිණි.

ගිරිඋල්ල නගරයේ සිට අදාළ වාහනය පසුපස හඹාගොස් පන්නල ප්‍රදේශයේදී එය නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කළද, සැකකරුවන් පොලිස් නියෝග නොසලකා පළායෑමට උත්සාහ කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවටද තර්ජනයක් එල්ල වීම නිසා, වාහනයේ පසුපස රෝදයට වෙඩි තැබීමට නිලධාරීන්ට සිදුවී ඇත.

වාහනයේ දොරවල් විවෘත කිරීමට සැකකරුවන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, පොලිසිය විසින් ඉදිරි වම් පැත්තේ දොරේ වීදුරුව බිඳදමා එහි සිටි පිරිස ඉවතට ගෙන පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 15ක වැඩි ප්‍රමාණයක් සහ රුපියල් 924,770ක මුදලක් සොයාගෙන ඇත.

නෙළුම්දෙණිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයකු සහ 39 සහ 16 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත සැකකරුවන් පදිංචි නිවසේ කළ වැඩිදුර සෝදිසියකදී, තවත් හෙරොයින් ග්‍රෑම් 62ක්, රුපියල් මිලියන 1.68ක මුදලක්, මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොදාගත් බෝතල් මූඩි 500ක් සහ ප්ලාස්ටික් බට 2,235ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ගිරිඋල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.