September 23, 2026

රටේ පවතින අලි මිනිස් ගැටුමට දිගුකාලීන විසඳුම් සෙවීමේ අරමුණින්, කිලෝමීටර් 5,741ක විදුලි අලි වැට ජාලය නඩත්තු කරන වනජීවී නිලධාරීන්ගේ පහසුකම් පුළුල් කිරීම සඳහා පුළුල් වැඩසටහනක් පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත.

රජයේ ප්‍රතිපත්තිය වන්නේ, අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වනජීවී නිලධාරීන්ට ප්‍රමාණවත් මානව හා භෞතික සම්පත් ලබාදිය යුතු බවයි.

ඒ අනුව, දිවයින පුරා අලි ප්‍රහාර, අලි හා මිනිස් මරණවල තීව්‍රතාවය සහ ප්‍රදේශවල භූමි ස්වභාවය පිළිබඳ තක්සේරු කර සම්පත් බෙදාදීම සිදුකර තිබේ.

මෙම වැඩසටහන යටතේ විදුලි අලි වැට නිරන්තරයෙන් නඩත්තු කිරීම සඳහා වනජීවී නියාමකයන් වෙත නවීන මෝටර් සයිකල් 100කට අධික සංඛ්‍යාවක් ලබා දී ඇත.

ඒ අනුව පොළොන්නරුවට මෝටර් සයිකල් 36ක්, නැගෙනහිරට 22ක්, අනුරාධපුරයට 17ක්, ත්‍රිකුණාමලයට 13ක්, දකුණු පළාතට 12ක් සහ වයඹ පළාතට 12ක් ලෙස බෙදා දී තිබේ.

මීට අමතරව, ඩබල් කැබ් රථ 16ක්, සිංගල් කැබ් රථ 84ක්, ටැක්ටර් සහ විශේෂිත ජීප් රථ ද කලාපීය කාර්යාල වෙත යොදවා ඇත.

පණ්ඩුලගම, ලුණුගම්වෙහෙර, නිකවැරටිය, ගිරිතලේ යන ප්‍රදේශවල පශු වෛද්‍ය ඒකක සහ අලි මංකඩ වෙත විශේෂ කැබ්රථ ලබා දී ඇති අතර, එමඟින් තුවාල ලැබූ වන අලි වෙත ඉක්මනින් ළගා වී ප්‍රතිකාර කිරීමට වෛද්‍ය කණ්ඩායම්වලට හැකියාව ලැබෙනු ඇත.

මෙම නව වාහන මඟින් නිලධාරීන්ට අලි වැට පිහිටි ස්ථාන වෙත ඉක්මනින් ළගාවීමටත්, අලුත්වැඩියා කටයුතු සිදුකිරීමටත්, අලි පන්නාදැමීමේ සහ රාත්‍රී මෙහෙයුම් සාර්ථකව කරගෙන යාමටත් හැකියාව ලැබේ.

වනජීවී සංරක්ෂණ අරමුදල මඟින් මෙම ව්‍යාපෘතියට අවශ්‍ය ප්‍රතිපාදන සපයනු ලබයි.