September 23, 2026

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම කණ්ඩායමේ විශේෂත්වය වන්නේ, වසර පහකට පසු කඩුලු රකින, පිතිකරු නිරෝෂන් දික්වැල්ල විස්සයි විස්ස සංචිතයට යළි කැඳවීමයි.

මීට අමතරව, වසර තුනකට පසු අෂේන් බණ්ඩාර ද සංචිතයට නම්කර ඇති අතර, මෙම ක්‍රීඩකයන් දෙදෙනා මෙවර ජපානයේ පැවැත්වෙන අයිචි-නගෝයා (Aichi-Nagoya) ආසියානු ක්‍රීඩා උළෙල සඳහා එක්වීමට නියමිතය.

තරගාවලියේ නායකත්වය සහන් ආරච්චිගේ වෙත පැවරී ඇති අතර, සොහාන් ද ලිවේරා, සිනෙත් ජයවර්ධන, වනුජ සහන් සහ ගරුක සංකේත් මෙහිදී පළමුවරට විස්සයි විස්ස සංචිතයක් සඳහා කැඳවීම් ලබා ඇති නවක ක්‍රීඩකයන් වේ .

ආසියානු ක්‍රීඩා උළෙලේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම, සැප්තැම්බර් 24 වැනි දින ජපානය බලා පිටත්ව යෑමට නියමිත අතර, සැප්තැම්බර් 29 වැනි දින නිසින් (Nissin ) හිදී සිය පළමු තරගයට පිවිසෙනු ඇත.

ඒ අනුව සහන් අරච්චිගේ, සොහාන් ද ලිවේරා, වනුජ සහන්, නිරෝෂන් දික්වැල්ල, අෂේන් බණ්ඩාර, දුෂාන් හේමන්ත, ලසිත් කෲස්පුල්ලේ, චාමික කරුණාරත්න, නුවන් තුෂාර, සිනෙත් ජයවර්ධන, තරිඳු රත්නායක, බිනුර ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, ගරුක සංකේත් මෙවර විස්සයි විස්ස සංචිතයට නම්කර තිබේ.