September 23, 2026

පොරමඩුල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන් අකුරුකර මහනුවර රණබිම රාජකීය විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළට ඒ 10 ක් සමගින් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ද දිනා ධර්මරාජ විද්‍යාලයෙන් උසස් පෙළට ඒ 4 ක් ලබාගත් චාමර ලක්මාල් දළුගම 2007 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් විය.

ගමේ දරුවන්ට නොමිලේ ඉගැන්වූ ගුරු මවකගේ සහ බැංකු කළමනාකාර පියකුගේ සෙවණේ හැදී වැඩුණු ඔහු, උඩලුමඩ ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසලෙන් ධර්මාචාර්ය විභාගය දක්වා ඉගෙනුම ලබා නික්මීම සිය දිවියේ මහපෙන්වීම කරගත්තේය.

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ වසර 50ක ඉතිහාසය තුළ කිසිදු ශිෂ්‍යයකු නොතැබූ අසමසම වාර්තාවක් තබන්නට ඔහු සමත් විය. මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ ශිෂ්‍යත්වය, රන් පදක්කම් 9ක් සහ සම්මාන 20කට අධික සංඛ්‍යාවක් දිනූ ඔහු උපාධිය හදාරන සමයේ දීම පර්යේෂණ පත්‍රිකා 15කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත්කළ විශිෂ්ටයකු වේ.

පසුව 2019 වසරේදී MD උපාධිය සම්පූර්ණ කර MRCP (UK) සමත්ව, එක්සත් රාජධානියේ සුප්‍රකට Oxford University hospital හි උසස් සායනික පුහුණුව ලැබූ ඔහු Edinburgh, London හා Glasgow සහ යෝර්ක්ෂයර් රාජකීය වෛද්‍ය විද්‍යාලයන්හි සාමාජිකත්ව (FRCP) ගෞරව සම්මාන රැසකින් පිදුම් ලැබීය. අනතුරුව 2022 වසරේදී වයස අවුරුදු 34 දී කුසලතා පදනම මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කායික රෝග ක්ෂේත්‍රයේ ළාබාලතම මහාචාර්යවරයකු ලෙස සේවයට එක්විය.

ඔහුගේ වත්මන් තත්වය සලකා බැලීමේදී, චාමර ලක්මාල් දළුගම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික රෝග පිළිබඳ පූර්ණ මහාචාර්යවරයකු මෙන්ම පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ප්‍රමුඛ පෙළේ සක්‍රිය සේවාවක නිරතව සිටී. විදෙස් රටවලින් ලද අතිමහත් ධන සම්පත් හා වරප්‍රසාද පසෙකලා තමන්ට අකුරු කළ මව්බිමේ රෝගී ජනතාවට සහ අනාගත වෛද්‍ය පරපුරට සේවය කිරීමට මෙරටම රැඳී සිටින මහාචාර්ය චාමර දංගමයන් වැනි නිහතමානී වියතුන් සැබවින්ම රටකට පහන් ටැඹක් බඳුය.

(උපුටාගැනීම – දිවයින පුවත්පත)