September 23, 2026

2019 වසරේ සිදු වූ දරුණු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග වූ දීර්ඝ නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනෙකු සඳහා වසර 200කට වැඩි සිරදඬුවම් නියම කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (22) පියවර ගත්තේය. ඒ අනුව විත්තිකරුවන් 5 දෙනකුට වසර 200 බැගින්ද තවත් විත්තිකරුවන් 5 දෙනකුට වසර 220ක්ද, විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240ක් සහ එක් විත්තිකරුවකුට වසර 260 බැගින් බරපතළ සිරදඬුවම් නියම කෙරිණි.

එමෙන්ම, ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම විත්තිකරුවන් 15 දෙනාට අයත් සියලුම නිශ්චල සහ චංචල දේපළ රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කළේය.

නවරත්න මාරසිංහ (සභාපති), රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන සාමාජිකයන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි මෙම ඓතිහාසික නඩු තීන්දුව ලබාදෙන ලදී.

නීතිපතිවරයා විසින් එල්ල කර තිබූ සියලුම චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බව තීරණය කළ අධිකරණය, නඩුවේ 1 සිට 9 දක්වා වූ විත්තිකරුවන් මෙන්ම 11, 15, 16, 18 සහ 19 යන විත්තිකරුවන් මෙලෙස චෝදනාවලට වරදකරුවන් බවට තීන්දු කළේය. ඒ අනුව, මොහොම්මදු ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් නොහොත් නවුෆර් මවුලවී, ගෆූර් මාමා, හයාතු මොහොම්මදු මිල්හාන්, මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල්ලා ඇතුළු විත්තිකරුවන් 15 දෙනකු ඉදිරිපත් කළ විත්තිවාචක අධිකරණය විසින් නිශ්ප්‍රභ කරන ලදී.

එමෙන්ම, 10 වැනි විත්තිකරුට එල්ල වී තිබූ 16 වන චෝදනාවෙන් පමණක් ඔහුව නිදොස් කොට නිදහස් කළ අතර, 12, 13, 14, 17, 20, 21, 23, 24 සහ 25 යන විත්තිකරුවන් අදාළ සියලු චෝදනාවලින් සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

ඊයේ පෙරවරු 11.30 ට පමණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ආරම්භ කරමින් සභාපති විනිසුරු නවරත්න මාරසිංහ සඳහන් කළේ, වෙළුම් 9කින් සහ පිටු 8,900කින් සමන්විත අධිචෝදනා පත්‍රයක් විත්තිකරුවන්ට භාර දී තිබූ බවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම, අන්තවාදී අදහස් ප්‍රචලිත කිරීම සහ ජාතීන් අතර අසමගිය ඇති කිරීම යන දඬුවම් ලැබිය හැකි වැරදි සම්බන්ධයෙන් චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ නඩුව විභාග විය. ප්‍රහාරයට පෙර අන්තවාදී දේශන පැවැත්වීම, අවි පුහුණු වැඩමුළු දියත්කිරීම සහ ආරක්ෂිත ස්ථාන පවත්වාගෙන යෑම යනාදී කරුණු කෙරෙහි ද අධිකරණයේ විශේෂ අවධානය යොමුවිය.

කුමන්ත්‍රණයකට සම්බන්ධ වන පුද්ගලයන් එකම ස්ථානයක සිටීම අත්‍යවශ්‍ය නොවන බවත්, සෘජුව හෝ වක්‍රව ඊට එකඟ වීම ප්‍රමාණවත් වන අතර ආරම්භයේදී, මැදදී හෝ අවසානයේදී සම්බන්ධ වන ඕනෑම අයකු එහි පාර්ශ්වකරුවකු වන බවත් සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණයේදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා දිනයේදී ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් නවදෙනකු විසින් කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් සහ කතෝලික දේවස්ථාන තුනක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ අතර, ඉන් කුඩා දරුවන් ඇතුළු 269 දෙනෙකුට ජීවිත අහිමි වී තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබීය. වසර කිහිපයක් තිස්සේ විභාග වූ මෙම නඩුවේදී පැමිණිලිකරුවන් 2,309 දෙනකු සාක්ෂි ලබා දී තිබූ අතර සාක්ෂි විමසීම පසුගිය අගෝස්තු 24 වැනි දින නිමාවට පත්විය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ බැවින් ඊයේ පෙරවරුවේ සිටම අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සුනඛ අංශය, සීසීටීවී ජංගම රථ සහ ගිලන් රථ යොදවමින් දැඩි ආරක්ෂාවක් තර කර තිබිණි. තීන්දුව ශ්‍රවණය කිරීම සඳහා කතෝලික සභාව නියෝජනය කරමින් පියතුමන්ලා ඇතුළු පාර්ශ්ව රැසක් ද අධිකරණ භූමියට පැමිණ සිටියහ.