September 22, 2026

2024 වසරේදී සිදුකරන ලද නවතම සමීක්ෂණයකට අනුව ශ්‍රී ලාංකිකයින් 650,000 කට වැඩි පිරිසක් තාවකාලික හේතූන් මත විදේශගතව සිටින අතර ඉන් බහුතරයක්ම විදේශගතව ඇත්තේ රැකියා සඳහා බව හෙළි වී තිබේ.

එම සමීක්ෂණ වාර්තාව පෙන්වාදෙන්නේ ශ්‍රී ලාංකිකයන් 672,249 දෙනකු විදේශගතව තාවකාලිකව පදිංචිව සිටින බවයි.

මෙම දත්ත උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ජනගහන සහ දත්ත විශ්ලේෂිකා පූරණි රාධාක්‍රිෂ්ණන් සඳහන් කර ඇත්තේ, විදේශගත වූ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 86 කට ආසන්න ප්‍රමාණයක්ම පිටව ගොස් ඇත්තේ රැකියා අවශ්‍යතා සඳහා බවයි.

“බුද්ධිගලනය සම්පූර්ණයෙන්ම නැවැත්වීම කළ නොහැක්කක්. නමුත් ඔවුන්ට සුදුසු අවස්ථා නිර්මාණය කර දීම තුළින් ඔවුන්ට නිවැරදි තීරණයක් ගැනීමට පහසුකම් සැලසිය හැකියි” යනුවෙන් ද රාධාක්‍රිෂ්ණන් වැඩිදුරටත් පවසයි.

මෙම තොරතුරු අනාවරණය වූයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද ජනසංගණන දත්ත උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සංවිධානය කරන ලද සංවාද මණ්ඩපයකදීය.

හදිසි අවස්ථා, ආපදා සහ මානුෂීය අර්බුද හමුවේ කාන්තාවන්, තරුණ තරුණියන්, ගැබිණි මව්වරුන් ඇතුළු අවදානමට ලක්විය හැකි පිරිස් මුහුණදෙන සුවිශේෂී අවශ්‍යතා සහ අභියෝග පිළිබඳව ජනමාධ්‍යවේදීන්ගේ අවධානය සහ අවබෝධය ශක්තිමත් කිරීමේ අරමුණින්, UNFPA ආයතනය විසින් දිවයින පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් තෙදින විශේෂ පුහුණු වැඩසටහනක් මේ දිනවල බදුල්ලේදී පවත්වනු ලබයි.

ආපදා අවස්ථාවලදී පවා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා සහ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ වැදගත්කම, කාන්තාවන්ගේ සහ දැරියන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම මෙන්ම ආපදා සහන සැලසීමේදී සහ පුනරුත්ථාපන ක්‍රියාවලීන්හිදී ඔවුන්ගේ මෙම අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාව පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රය දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

මීට අමතරව, ජනගහන දත්ත, ජනගහන විද්‍යාත්මක ප්‍රවණතා සහ 2024 ජනසංගණනයේ නවතම සොයාගැනීම් පිළිබඳව නිසි අවබෝධයක් ලබාදීමට ද මෙහිදී කටයුතු කෙරේ.

දැනුවත් කිරීමේ සෙසු සැසි, සාකච්ඡා සහ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවලින් සමන්විත මෙම පුහුණු වැඩසටහන මගින්, දිට්වා ආපදාව හමුවේ UNFPA ආයතනය ක්‍රියාත්මක කළ මානුෂීය මැදිහත්වීම් සහ ක්ෂේත්‍ර අත්දැකීම් පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීමට ද සහභාගීවන ජනමාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වේ.