September 22, 2026

ඊසානදිග ඉන්දියාවේ තිස්තා ගංගාවේ සැඩ පහරට හසුව ගසාගෙන ගිය දින 3-4 ක් පමණ වයසැති අලි පැටවකු ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් බේරාගෙන, පැය දෙකකට ආසන්න උත්සාහයකින් පසුව නැවතත් එම අලි පැටවාගේ මව වෙත භාරදීමට සමත්ව තිබේ.

ගඟ හරහා ගමන් කරමින් සිටියදී මවගෙන් වෙන්වූ මෙම අලි පැටවා, තිස්තා බැරේජයේ ඉහළ කොටසේ සිට පහළට සැඩ පහරේ ගසාගෙන ගොස් ඇත. සැඩ පහරට හසුව සිටි අලි පැටවා දුටු අජේ දාස්, රාජේෂ් දාස්, ගෝපාල් දාස්, මිට්ටු දාස් සහ විශ්වනාත් දාස් යන ධීවරයන් පිරිස සිය ජීවිත පරදුවට තබමින් අලි පැටවා දියෙන් ගොඩගෙන ගංමැද පිහිටි දූපතකට ආරක්ෂිතව ගෙන ඒමට කටයුතු කර තිබේ.

පසුව බයිකුන් තපූර් වන සංරක්ෂණය කොට්ඨාසයේ වනජීවී නිලධාරීන් ද මෙම මෙහෙයුමට එක්ව ඇති, අලි පැටවාගේ මව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.

අලි පැටවා සිය මව කැඳවමින් නගන හඬත් සමඟ සංවේදී මෙහෙයුමක් ආරම්භ වූ අතර, පැය දෙකකට ආසන්න උත්සාහයකින් පසු ගජෝල්ඩෝබා හි තිස්තා ගංමැද දූපතේදී අලුත උපන් මෙම අලි පැටවා නැවතත් මව වෙත සාර්ථකව භාරදීමට මුදාගැනීමේ කණ්ඩායමට හැකිව තිබේ.

මෙම ජීවිත බේරාගැනීමේ මෙහෙයුම වනජීවී සංරක්ෂණය සහ කරුණාව දැක්වීම පිළිබඳ හදවතට සමීප ආදර්ශයක් ලෙස ප්‍රදේශවාසීන්ගේ ඇගයීමට ලක්ව ඇත.