September 22, 2026

ගිරිඋල්ල පොලිසියේ නිලධාරීන් විසින් නවත්වන ලෙස දැනුම්දුන්නද, අණ නොතකා පළාගිය සුපිරි මෝටර් රථයක් හඹාගොස්, පන්නල නගරයේදී වටකර අත්අඩංගුවට ගැනීමේ පුවතක් වාර්තා වේ.

මෙම සිදුවීමේදී මෝටර් රථයේ සිටි පිරිමි රියදුරකු සහ කාන්තාවන් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත.

පොලිසිය සඳහන් කරන්නේ අණ නොතකා අධික වේගයෙන් ධාවනය වූ මෙම රථය නැවැත්වීමට ගිරිඋල්ල පොලිසියේ නිලධාරීන් වෙඩි තැබීමක් ද සිදුකර ඇති බවයි.

කෙසේවෙතත් රථය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති අතර, පසුව පන්නල නගරයේදී වෙනත් වාහන කිහිපයක් ද හරස් කරමින් රථය නවතාගැනීමට පොලිසියට හැකිවී තිබේ.

වාහනය නැවැත්වීමෙන් පසුවද එහි සිටි රියදුරා දොරවල් අගුළුලාගෙන වාහනය තුළට වී සිට ඇති අතර, එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් T-56 ගිනිඅවියක් රියදුරා දෙසට එල්ල කරමින් දොරවල් නොඇරියහොත් වෙඩි තබන බවට අනතුරු ඇඟවීම සිදුකර ඇත.

එසේ තිබියදීත් දොරවල් නොහැරීම නිසා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මෝටර් රථයේ වීදුරු කඩා දමා දොරවල් ඇර සැකකාර රියදුරා සහ එහි සිටි කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිමි සැකකරු ළඟ තිබී මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන සුළු ප්‍රමාණයක් ද සොයාගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූ සැකකරුවන් තිදෙනාම ගිරියුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව තහවුරු වී ඇත.