September 22, 2026

කළුතර-ගැලනිගම සහ දොඩංගොඩ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ(21) උදෑසන සිදුවූ වාහන අනතුරේදී ආරක්ෂක පටි (සීට් බෙල්ට්) භාවිතය නිසා බරපතල තුවාල සිදුවීම වළක්වා ගැනීමට හැකි වූ බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසයි.

අනතුරට ලක් වූ බස් රථයේ ගමන් කරමින් සිටි සියලුම පාසල් දරුවන් ආරක්ෂක පටි පැළඳ සිටි බව ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

අනතුරින් පසු දරුවන් අට දෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ අතර කිසිදු අයෙකුට බරපතල තුවාල සිදුවී නොමැති බව ඔහු සඳහන් කරයි.

අනතුරට ලක් වූ අනෙකුත් වාහනවල මගීන්ටද සීට් බෙල්ට් භාවිතය නිසා මෙම අනතුරින් සිදුවූ හානිය අවම කරගැනීමට හැකි වී තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඊයේ උදෑසන 6.15 පමණ සිදු වූ මෙම අනතුරට බස් රථ දෙකක්, කැබ් රථයක් සහ මෝටර් රථ කිහිපයක් ඇතුළුව වාහන 11ක් අනතුරට ලක් වී ඇති අතර, මේ හේතුවෙන් පුද්ගලයන් 13 දෙනකු රෝහල්ගත කර ඇත.

ගාල්ලේ සිට කොළඹ දෙසට අධික වේගයෙන් ගමන් කළ කැබ් රථයක් තිරිංග යෙදීම හේතුවෙන් ලිස්සා ගොස් මාර්ගයේ ආරක්ෂක වැටක ගැටීමෙන් පළමු අනතුර සිදුවී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

වැසි සහිත කාලගුණ තත්වයක් තුල දී රියදුරන් රථ වාහන ධාවන වේගය අඩුකරන ලෙසත් ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටි.

සැප්තැම්බර් 20 දින සිට අධිවේගී මාර්ගවල ආරක්ෂක පටි පැළදීම සම්බන්ධ නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, මෙම නවතම අනතුරින් එම නීතියට අනුකූල වීම කොතරම් වැදගත්ද යන්න පෙන්නුම් කරන බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර වැඩිදුරටත් ප්‍රකාශ කරයි.