September 21, 2026

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන්ගේ මාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ඇත.

මෙහිදී සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කළ ඔහුගේ දෙමාපියෝ, සිය පුත්‍රයා සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් සිදු කර ඔහුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔවුන්ගේ ඉල්ලීමට සවන්දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක, සිවරාසා අනෝජන්ට සමාව ලබාගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරමින් සිටින බවත්, ඒ වෙනුවෙන් නෛතිකව සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බවත් සඳහන් කර තිබේ.

විශේෂයෙන්, සෞදි රජුගෙන් මේ පිළිබඳව සමාව ලබාදෙන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයද සිවරාසා අනෝජන් සම්බන්ධ සිද්ධිය පිළිබඳව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අඛණ්ඩව අවධානය යොමුකරමින්, සෞදි බලධාරීන් සමඟ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව එහිදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සඳහන් කර තිබේ.

ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සහ සිවරාසා අනෝජන්ගේ පවුලේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව ඇත.