September 21, 2026

සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම කර ඇති බවට වාර්තා වන සිවරාසා අනෝජන්ගේ පවුලේ සාමාජිකයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී තිබේ.

අනෝජන්ගේ පියා තම්බිරාජා සිවරාසා, මව රාසමානික්කම් යෝගලක්ෂ්මි සහ සහෝදරයා සිවරාසා හම්සිදන් යන අය මෙම හමුව සඳහා සහභාගී වූ අතර, එහිදී අනෝජන්ගේ වත්මන් තත්ත්වය සහ ඔහු නිදහස් කරගැනීමේ උත්සාහයන් පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙම හමුව අතරතුර, අනෝජන්ගේ නඩුව සහ ඔහු නිදහස් කරගැනීම පිළිබඳව සොයා බැලීම සඳහා විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපතිවරයා සමඟ දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කර තිබේ.

එමෙන්ම, සෞදි බන්ධනාගාරයක රඳවා සිටින අනෝජන් සමඟද දුරකථනය හරහා සම්බන්ධ වූ විපක්ෂ නායකවරයා, ඔහුගේ සුවදුක් විමසා බැලීම සිදුකර තිබේ.

අනෝජන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් රජය විසින් ගෙන යනු ලබන උත්සාහයන් පිළිබඳව තොරතුරු ලබාගැනීම උදෙසා සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟද දුරකථනයෙන් සාකච්ඡා කර ඇත.

ජාතිවාදී හෝ ආගමික භේදයකින් තොරව අනෝජන් නිදහස් කරගැනීම සඳහා තමාට කළ හැකි උපරිම කැපවීම කරන බව විපක්ෂ නායකවරයා අනෝජන්ගේ පවුලේ සාමාජිකයන්ට සහතික වී තිබේ.

අනෝජන්ගේ නඩුව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත්, රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා සෞදි බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය මීට පෙර තහවුරු කර තිබිණි.

කෙසේවෙතත්, ඔහුට මරණ දණ්ඩනය නියම කර ඇති බවට පළ වන වාර්තා අමාත්‍යාංශය විසින් තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත.