September 21, 2026

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන බව පිළිගන්නා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩාවේ දීර්ඝ කාලීනව පවතින ගැටලු ආරම්භක පාසල් සහ දිස්ත්‍රික් මට්ටමේ සිටම විසඳිය යුතු බව අවධාරණය කළේය.

ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියාසිටියේ, ගුණාත්මකභාවයෙන් යුත් ක්‍රීඩකයින් බිහිනොකර ශක්තිමත් කමිටු පත්කිරීමෙන් හෝ යහපත් සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් පමණක් ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනැගිය නොහැකි බවයි.

“හොඳ ක්‍රීඩකයින් නොමැතිව අපට මෙම ක්‍රීඩාව ඉදිරියට ගෙන යා නොහැකියි. අපගේ අවධානය යොමු විය යුත්තේ බිම් මට්ටමේ සිටම ක්‍රීඩකයින් සංවර්ධනය කිරීම කෙරෙහි යැයි” ඔහු සඳහන් කළේය.

වත්මන් සංචිතයේ ඇතැම් සාමාජිකයන් අතර ස්ථාවර ප්‍රමිතියක් නොමැතිකම මගින් පාසල් සහ දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ වන විස්තීරණ සංවර්ධන වැඩසටහනක අවශ්‍යතාවය මැනවින් පැහැදිලි වන බව ඇමැතිවරයා පෙන්වාදුන්නේය.

තවද, මෙම ගැටලුව වසර ගණනාවක් තිස්සේ පැවතෙන්නක් බවත්, ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මට්ටමින් නැවතත් තරගකාරීත්වයක් ලබා ගැනීම තහවුරු කිරීම සඳහා හදිසි ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.(Newswire.lk)