September 21, 2026

චීන ජනාධිපති ෂී ජින්පිං එළඹෙන බදාදා සිට සිකුරාදා දක්වා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

සඳුදා නිකුත් කළ නිල නිවේදනයකින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, චීන ජනාධිපතිවරයා සැප්තැම්බර් 23 සිට 25 දක්වා ඇමරිකාවේ සංචාරය කරන බවයි.

මෙය 2015 වසරෙන් පසු ෂී ජින්පිං ඇමරිකාවේ නිරත වන පළමු රාජ්‍ය සංචාරය වන අතර, එමෙන්ම එය මේ වසර තුළ ඔහු සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන දෙවන හමුව ද වේ.

වෙළඳ, තාක්ෂණික සහ ජාතික ආරක්ෂක ගැටලු හේතුවෙන් අභියෝගයට ලක්ව ඇති ද්විපාර්ශ්වික සබඳතා ස්ථාවර කරගැනීම ලොව විශාලතම ආර්ථිකයන් හිමි මෙම රටවල් දෙකෙහි ප්‍රධාන අරමුණයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගුඕ ජියාකුන් පැවසුවේ, චීන ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල ආරාධනයකට අනුව බවයි.

එහිදී ද්විපාර්ශ්වික සබඳතා, ලෝක සාමය සහ සංවර්ධනය සම්බන්ධයෙන් වන වැදගත් කරුණු පිළිබඳව ෂී ජින්පිං, ජනාධිපති ට්‍රම්ප් සමඟ ගැඹුරින් අදහස් හුවමාරු කරගනු ඇති බව ගුඕ ජියාකුන් සඳහන් කළේය.

චීන – ඇමරිකානු සබඳතාවලදී රාජ්‍ය නායකයන් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල වැදගත්කම අවධාරණය කළ ප්‍රකාශකවරයා, මාස හයක් වැනි කෙටි කාලයක් තුළ ජනාධිපතිවරුන් දෙපළ අතර සිදු වන මෙම නිල සංචාර හුවමාරුව ඓතිහාසික වැදගත්කමකින් යුත් සන්ධිස්ථානයක් වනු ඇතැයි ප්‍රකාශ කළේය.

මතභේද කළමනාකරණය කරගනිමින් ගෝලීය සාමය සහ සමෘද්ධිය ඉහළ නැංවීම සඳහා ගොඩනගාත්මක මූලෝපායික ස්ථාවරත්වයක් යටතේ වොෂින්ටනය සමඟ සංවාද පැවැත්වීම ප්‍රවර්ධනය කිරීමට බීජිං පාලනය කැපවී සිටින බව ද ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති ෂී ජින්පිං සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වරට පසුගිය මැයි මාසයේදී බීජිං නුවරදී හමුවූ අතර, එම හමුව අවසන් වූයේ මූලෝපායික ස්ථාවරත්වයකින් යුතු ශක්තිමත් සබඳතාවක් ඉදිරියට පවත්වාගෙන යාමේ තීරණයත් සමඟය.