September 21, 2026

රථවාහන පදවන රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්දැයි ක්ෂණිකව පරික්ෂා කළ හැකි විශේෂිත පරික්ෂණ කට්ටල ඉදිරි මාස දෙකක හෝ තුනක කාලය ඇතුළත හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ, මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කිරීමේ වර්ධනය වන ප්‍රවණතාව මැඩපැවැත්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

මාරාන්තික මාර්ග අනතුරුවලට බලපාන හේතූන්ගේ වෙනස්වීමක් පොලීසිය නිරීක්ෂණය කර ඇති බවත්, මත්පැන් පානය කර රිය පැදවීමට අමතරව මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම වර්තමානයේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බවත් පොලිස්පතිවරයා පැවසීය.

“පසුගිය කාලයේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී මූලික අවධානය යොමු වුණේ මත්පැන් පානය කර රිය පැදවීම කෙරෙහි වුවත්, මේ වන විට බරපතල අනතුරුවලට ප්‍රධානතම හේතුව ලෙස මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම නිරන්තරයෙන් නිරීක්ෂණය වෙනවා. උදාහරණයක් ලෙස පසුගිය සතියේ මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදු වූ මාර්ග අනතුර සම්බන්ධයෙන් අපි පරික්ෂණ පැවැත්වූ අතර, එහිදී අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව තහවුරු වුණා,” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ ඉලක්ක කරගනිමින් මෑතකදී පැවැත්වූ නියමු මෙහෙයුමකදී, බස් රථ රියදුරන්ගෙන් සියයට 5 කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කර ඇති බව අනාවරණය වූ බව ද පොලිස්පතිවරයා සඳහන් කළේය.

මත්පැන් භාවිත කර ඇති බව සිද්ධිය වූ ස්ථානයේදීම හඳුනා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව තිබුණද, මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට සැකකෙරෙන අවස්ථාවලදී ඒ සඳහා වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය වන බව පොලිස්පතිවරයා පැවසීය. එබැවින් බරපතල අනතුරුවලට ලක්වන රියදුරන් සඳහා මත්ද්‍රව්‍ය පරීක්ෂණ සිදු කිරීම පොලීසිය විසින් අනිවාර්ය කර තිබේ.

“පුද්ගලයෙකු මත්පැන් පානය කර ඇත්දැයි පොලිස් නිලධාරියෙකුට එම ස්ථානයේදීම වහාම හඳුනාගත හැකි වුවත්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවා ඇත්දැයි තහවුරු කරගැනීමට නම් එම පුද්ගලයා වෛද්‍යවරයකු වෙත යොමු කර පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. ඒ සඳහා විකල්පයක් ලෙස ඉදිරියේදී පොලීසියට භාවිත කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමට අපි පියවර ගනිමින් සිටිනවා. තවත් මාස දෙකක් හෝ තුනක් ඇතුළත අපට එම ක්‍රමවේදය භාවිතයට ගැනීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා,” යනුවෙන් පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, අධික වේගය සහ මාර්ග නීති උල්ලංඝනය කිරීම ශ්‍රී ලංකාවේ මාරාන්තික මාර්ග අනතුරුවලට බලපාන ප්‍රධාන සාධක අතර තවදුරටත් පවතින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම, එල් ටී ටී ඊ ත්‍රස්තවාදී යුද්ධය උච්චතම අවස්ථාවේ පැවැති සමයේ වාර්තා වූ දෛනික මරණ සංඛ්‍යාවේ සාමාන්‍යයට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වර්තමානයේ රථවාහන අනතුරු හේතුවෙන් දිනපතා සිදු වන බව ද පොලිස්පති වීරසූරිය මහතා පෙන්වා දුන්නේය. “යුද සමයේදී, එය වඩාත්ම තීව්‍ර වූ අවස්ථාවල පවා දෙපාර්ශ්වයෙන්ම දිනකට මියගියේ සාමාන්‍යයෙන් හතර දෙනෙකු වැනි සංඛ්‍යාවක්. නමුත් අද වන විට මාර්ග අනතුරු නිසා දිනපතා පුද්ගලයන් 7 ත් 10 ත් අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වෙනවා,” ‍යනුවෙන් ද ඔහු සඳහන් කළේය.