September 21, 2026

නේටෝ සංවිධානය සමඟ ශ්‍රී ලංකාව ආරක්ෂක සහයෝගීතාවයකට එළඹීම පිළිබඳ මෙරට රුසියානු තානාපති ලෙවාන් ජගාරියන් අදහස් දක්වා ඇති අතර ඔහු පවසා ඇත්තේ එය ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික කරුණක් බව සහ බටහිර රටවල් මෙන් රුසියාව වෙනත් රටවලට බලපෑම් එල්ල නොකරන බවත්ය.

ශ්‍රී ලංකාව නේටෝ සංවිධානය සමඟ සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් රුසියාවේ යම් කණස්සල්ලක් පවතින්නේදැයි ‘ඩේලි මිරර්’ පුවත්පත සිදු කළ විමසීමකදී පිළිතුරු දෙමින් තානාපතිවරයා සඳහන් කළේ, “නැහැ, එය ඔබගේ ද්විපාර්ශ්වික කරුණක්. බටහිර රටවල් මෙන් අපි බලපෑම් එල්ල කරන්නේ නැහැ,” යනුවෙනි.

කැනඩාවේ වික්ටෝරියා නුවර පැවැති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ගේ සමුළුව අතරතුරදී, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා සහ නේටෝ සභාපති අද්මිරාල් ජුසෙප්පේ කාවෝ ඩ්‍රැගෝන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී හමුදා නවීකරණය, සයිබර් සූදානම, උසස් තාක්ෂණය සහ ආපදා ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.

එමෙන්ම හමුදා උපකරණ යාවත්කාලීන කිරීම, නව තාක්ෂණය ලබා ගැනීම, නිරීක්ෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම මෙන්ම පිරිස් පුහුණුව සහ තොරතුරු හුවමාරු කරගැනීම පුළුල් කිරීම කෙරෙහි ද දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.

හදිසි මෙහෙයුම් සඳහා ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීම ඇතුළු මානුෂීය ආධාර සහ ආපදා සහන සහයෝගීතාව පිළිබඳව ද මෙහිදී ලේකම් තුයියකොන්තා පෙන්වා දුන් අතර, ශ්‍රී ලංකාව සමඟ පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට නේටෝ සංවිධානයට ඇරයුම් කළේය.

නේටෝ යනු යුරෝපීය සහ උතුරු ඇමරිකානු රටවලින් සැදුම්ලත් දේශපාලනික හා හමුදාමය සන්ධානයකි. එහි සාමාජික රටවල් ඕනෑම තර්ජනයකින් එකිනෙකා ආරක්ෂා කරගැනීමට බැඳී සිටියි.

යුක්‍රේනය සම්බන්ධයෙන් පවතින පූර්ණ පරිමාණ යුධමය වාතාවරණය හමුවේ, නේටෝ සංවිධානය සහ රුසියාව අතර සබඳතා මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක පවතියි.