September 21, 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ වැවිලි සමාගමක් වන සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේශන් ආයතනය පිළිබඳව මේ වන වන විට සමාජය තුළ දැඩි කතාබහට ලක්වී තිබේ.

එයට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය නොවන බැංකු ඒකකය මගින් සිදු කරනු ලබන වැවිලි සමාගම් සම්බන්ධ අධීක්ෂණයකට අදාළවය.

දැනට ලියාපදිංචිලත් ප්‍රධාන පෙළේ වැවිලි සමාගම් 18 ක් පිළිබඳව මෙම විමර්ශන කටයුතු සිදුකරන අතර එම විමර්ශන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ගිණුම් අත්හිටුවීමක් පසුගිය දිනවල සිදුකර ඇති අතර එම අත්හිටුවීම බලාත්මක කර ගැනීමට නීති අවසරය අවශ්‍ය බැවින් ඒ සඳහා අධිකරණ නියෝගයක් ද ලබාගෙන ඇත.

මෙම තත්ත්වය නිසා පාරිභෝගික ජනතාවට සිය ප්‍රතිලාභ ලබා ගැනීමට අසීරු තත්වයක් උදාවී ඇති අතර ගොවි ජනතාවද ඒ ඒ මගින් දැඩි අසීරුතාවයට පත් වී තිබේ.

මෙම තත්ත්වය හමුවේ යම්කිසි පිරිසක් මහජන කැළඹීමක් ඇති කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය තුළ හා whtsapp සමූහයන් නිර්මාණය කර ගනිමින් කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇති බවත් හුදෙක් ඔවුන්ගේ පරමාර්ථය වී ඇත්තේ පුද්ගලික අමනාපකම් පිරිමසා ගැනීම බව CGLP ආයතනයේ නීති අංශය මගින් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙමගින් අධිකරණයේ ස්වාධීනත්වයට බාධා ඇතිකර ඇති අතර සමාගමේ සභාපතිවරයාට හෝ සමාගමකට කිසිදු ව්‍යාපාරික තහනමක් පනවා නොමැති පසුබිමක් තුළ යම්කිසි කණ්ඩායමක් මෙලෙස අත්තනෝමතික ලෙස හැසිරීමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම එවැනි සාවද්‍ය තොරතුරු මත කලබල නොවන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඔවුන් ඉල්ලා සිටින අතර, අධිකරණයේ සාධනීය තීරණය මත සියලු පාරිභෝගිකයන්ගේ ප්‍රතිලාභ සුරක්ෂිතව ඔවුන් වෙත ලබාදීමට ආයතනය ගිවිසුමට ප්‍රකාරව බලාපොරොත්තු වන බවත්, ගොවි ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට වෙනුවෙන් නිරතුරුව කැපවෙන බවත් CGLP ඉහළ කළමනාකාරීත්වය වැඩිදුරටත් සඳහන් කරයි.