September 21, 2026

හූති කැරලිකරුවන්ගෙන් සෞදි අරාබියට එල්ල වන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ කලාපයේ ආරක්ෂක තත්ත්වය වේගයෙන් අයහපත් විය හැකි බවට එක්සත් ජනපදය විසින් සංචාරක උපදේශනයක් නිකුත් කිරීමත් සමඟ, බටහිර ආසියාව පුරා තත්ත්වය උග්‍රවීමේ සහ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමේ බියක් මතුව තිබේ.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ බටහිර ආසියාව පුරා උත්සන්න වන ආතතිය සහ තත්ත්වය තවදුරටත් නරක අතට හැරීමේ හැකියාව හමුවේ, ඉරානය වෙත “කිසිදු හේතුවක් මත” සංචාරය නොකරන ලෙසත්, දැනට එහි සිටින අයට වහාම ඉන් පිටව යන ලෙසත් ඇමරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමින් එක්සත් ජනපදය විසින් නව සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.

එම ආරක්ෂක අනතුරු ඇඟවීමේ වැඩිදුරටත් දැක්වෙන්නේ, කලාපීය ආරක්ෂක පරිසරය තවදුරටත් සංකීර්ණ මට්ටමක පවතින බැවින් ගුවන් ගමන් අවලංගු වීම්, ගුවන් පථ වසා දැමීම් සහ වෙනත් සංචාරක බාධා ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

“කිසිදු හේතුවක් මත ඉරානයට සංචාරය නොකරන්න. දැනට ඉරානයේ රැඳී සිටින ඇමෙරිකානු පුරවැසියන් වහාම එම රටින් පිටවිය යුතුයි,” යනුවෙන් අදාළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම කලාපයේ රැඳී සිටින ඇමෙරිකානුවන්ට ඉහළ අවධානයකින් පසුවන ලෙසත්, ගුවන්තොටුපොළ, ගුවන් සේවා සහ දේශසීමා හරහා යාම් සඳහා බලපාන නවතම තත්ත්වයන් පිළිබඳව විමසිලිමත් වන ලෙසත් එක්සත් ජනපද නියෝජිත මණ්ඩලය ඉල්ලා සිටියි.

ඉරානයේ ගොඩබිම් දේශසීමා පටිපාටි පූර්ව දැනුම්දීමකින් තොරව වෙනස් විය හැකි බවට අනතුරු අඟවන අදාළ නිවේදනය, ඇතුළු වීමට බලාපොරොත්තු වන රටවල ප්‍රවේශ අවශ්‍යතා පිළිබඳව සොයා බලන ලෙස ද සංචාරකයින්ට උපදෙස් දෙයි.

මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ එක්සත් ජනපදය සහ ඉරානය අතර ගැටුම්කාරී තත්ත්වය උග්‍රවෙමින් පවතින පසුබිමකය. එහිදී වොෂින්ටනය ටෙහෙරානයට එරෙහිව හමුදාමය සහ නාවික පීඩනය පවත්වාගෙන යන අතර, කලාපයේ පිහිටි එක්සත් ජනපද බලප්‍රදේශවලට එරෙහිව පලිගන්නා බවට ඉරාන බලධාරීහු අනතුරු අඟවති.

සිවිල් ගුවන්තොටුපොළ ද ඇතුළුව සෞදි අරාබියට ප්‍රහාර එල්ල කරන ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ද එක්සත් ජනපදය මෙහිදී පෙන්වා දී ඇත.

“ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් සිවිල් ගුවන්තොටුපොළ ද ඇතුළුව සෞදි අරාබියට එරෙහිව සතුරු ප්‍රහාරවල නිරත වී තිබෙනවා. මෙම හමුදාමය ගැටුම වේගයෙන් උග්‍රවීමේ හැකියාවක් පවතිනවා,” යනුවෙන් ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.