September 20, 2026

තයිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි තායිලන්ත ජාතික කාන්තාවන් තිදෙනෙකු ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද මෙහෙයුම් දෙකකදී මෙම සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 38ක් වන තායි කාන්තාවක මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සතුව තිබී ‘කුෂ්’ කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 220ක් සහ ‘හෂීෂ්’ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 852ක් සොයාගෙන ඇත.

වයස අවුරුදු 31ක් වන තවත් තායි කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සතුව තිබී ‘කුෂ්’ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 994ක් සහ ‘හෂීෂ්’ ග්‍රෑම් 620ක් සොයාගෙන තිබේ.

එම ගුවන් යානයෙන්ම පැමිණි 36 හැවිරිදි තවත් තායි කාන්තාවක, දෙවැනි සැකකාරියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතියි.