September 20, 2026

සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ට මරණ දඬුවම නියමවීම සහ ඔහු බේරා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිටපු අධිකරණ අමාත්‍යවරයකු වන අලි සබ්‍රි විශේෂ ලිපියක් ලියා තිබේ.

එමගින් ඔහු ඉල්ලා සිටින්නේ අතීතයේ රිසානා නෆීක්ට අත්වූ ඉරණම අනෝජන්ට අත්නොවීම සඳහා කටයුතු කළ යුතු බවයි.

ඔහු විසින් ලියන ලද ලිපියේ සපූර්ණ පරිවර්තනය මෙසේයි;

නෝර්පිට්ටිමුනෙයිහි වෙසෙන මවක් මඟබලමින් සිටින්නේ, එක්තරා පුවතක තමන්ට කිසිදා අසන්නට නොලැබේවායි ප්‍රාර්ථනයෙනි. ඇගේ පුතු වන සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකික විදේශ රැකියා නියුක්තික සිවරාසා අනෝජන්ට, ඉස්ලාම් ආගමට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන පරිදි සමාජ මාධ්‍යයේ සටහනක් තැබූ බවට චෝදනා කරමින් ජූලි 15 වනදා සෞදි අධිකරණය විසින් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කරන ලදී. කෙසේවෙතත්, අභියාචනයකින් අනතුරුව එම දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ නංවා ඇති බව පසුව ඇගේ පවුලේ අයට දැනුම් දී තිබේ.

දැනට නිශ්චිතව තහවුරු වී ඇති කරුණු සහ තවමත් තහවුරු නොවූ කරුණු මොනවාදැයි පැහැදිලිව වටහා ගැනීම ඉතා වැදගත් වේ. මරණ දඬුවමක් නියම කර ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත. අමාත්‍යාංශය සැප්තැම්බර් 18 වැනිදා සඳහන් කළේ රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අනෝජන්ගේ නඩුව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත්, කොළඹ පිහිටි සෞදි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වෙමින් රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අදාළ සෞදි බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බවත්ය.

ඊට අමතරව, නඩු විභාගයට පෙනී සිටි අනෝජන්ගේ නීතිඥවරයා, දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ නංවා ඇති බවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාචිකව දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. තානාපති කාර්යාලය දැනට සෞදි අධිකරණ බලධාරීන්ගෙන් නිල ලිඛිත නඩු තීන්දුව ලැබෙන තෙක් බලා සිටියි. එම තීන්දුව ලැබෙන තෙක්, අධිකරණය විසින් ලබාදී ඇති නිශ්චිත තීරණය හෝ ඊට පදනම් වූ නීතිමය හේතු සාධක පිළිබඳව ස්ථිරවම ප්‍රකාශ කළ නොහැක.

කෙසේවෙතත්, වැදගත් මෙන්ම යම් සහනයක් ගෙන දෙන පුවතක් ද පවතියි. අදාළ තීන්දුවට එරෙහිව මාසයක් ඇතුළත සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව නීතිඥවරයා විසින් තානාපති කාර්යාලයට දැනුම් දී ඇති අතර, අමාත්‍යාංශයේ උපදෙස් මත සහ අනෝජන්ගේ පවුලේ අය සමඟ සාකච්ඡා කරමින් අපගේ තානාපති කාර්යාලය එම අභියාචනය ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටියි.

එම පියවර අගය කළ යුතුය. එමෙන්ම ඒවා ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුය. මනුෂ්‍ය ජීවිතයක් පරදුවට තැබී ඇති මොහොතක, ප්‍රමාදයට කිසිදු ඉඩක් නැත.

වරද — සහ කරුණාව සඳහා වන සාධක

මුහම්මද් නබිනායකතුමාට (එතුමාට ශාන්තිය අත්වේවා) කරනු ලබන අපහාසයක් ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන්ට දැඩි වේදනාවක් ගෙන දෙයි. මෙවැනි කරුණු පාලනය කිරීම සඳහා සෑම රටකටම අනන්‍ය වූ නීති පද්ධතීන් පවතියි. එම නීතිවල නිවැරදි හෝ වැරදි භාවය මෙහිදී මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන මාතෘකාව නොවේ. සෞදි අරාබිය යනු තමන්ගේම වූ නීති සහ අධිකරණ පද්ධතියක් හිමි ස්වෛරී රාජ්‍යයක් වන අතර, ඒවාට ගරු කළ යුතුය.

නමුත් අප ඉදිරියේ ඇති ප්‍රධාන ගැටලුව වන්නේ අපගේම ශ්‍රී ලාංකික සහෝදරයෙකුගේ ජීවිතයයි.

මෙතෙක් වාර්තා වී ඇති තොරතුරුවලට අනුව, මෙම සිද්ධියට මුලපිරී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආගමික සමූහයන් අතර වූ සංවාදයකදී අන්තර්ජාලයට එක් කළ සටහනක් හේතුවෙනි. එම සටහන පළ කර විනාඩි කිහිපයක් ඇතුළත ඉවත් කර ඇති අතර, අනෝජන් පසුව වීඩියෝවක් ඔස්සේ ප්‍රසිද්ධියේ සමාවක්ද ඉදිරිපත් කර තිබේ.

එම සටහන අනුමත කළ නොහැකි, නුසුදුසු එකක් වන අතර එය සාධාරණීකරණය නොකළ යුතුය. නමුත් එය වහාම ඉවත් කරගැනීම සහ පසුව කළ සමාව ඉල්ලා සිටීම, දැනට කරුණාව සහ අනුකම්පාව ඉල්ලා සිටීම සඳහා ඉතා බලවත් පදනමක් සපයයි.

පසුතැවීම, සමාව දීම සහ අනුකම්පාව ඉස්ලාම් ආගම තුළ උතුම් කොට සැලකේ. එම ආත්මය පෙරදැරි කරගෙන — සහ සෞදි අරාබි රාජධානියේ නීතියට, අධිකරණයට සහ ස්වෛරීභාවයට පූර්ණ ගෞරවය දක්වමින් — අනෝජන් වෙත කරුණාව දක්වන ලෙසත්, අවසානයේ ඔහුට නැවත සිය පවුල වෙත පැමිණීමට අවසර දෙන ලෙසත් මම සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින්නේ දීර්ඝකාලීන සබඳතාවයකි. ජාතීන් අතර පවතින මිත්‍රත්වය මැනිය හැක්කේ යහපත් කාලයේදී පමණක් නොව, එක් මිතුරෙකුට තවත් මිතුරෙකුගෙන් ගෞරවපූර්වකව අනුකම්පාව ඉල්ලා සිටීමට හැකි වන මෙවැනි අවස්ථාවලදීය.

ශ්‍රී ලංකාව තුළ ද නීත්‍යනුකූලව මරණ දඬුවම පැවැතුණද, 1976 සිට මෙතෙක් කිසිදු මරණ දඬුවමක් ක්‍රියාත්මක කර නොමැත. එබැවින්, නීතියේ සඳහන් අවසාන දඬුවම සහ ප්‍රායෝගිකව කරුණාව දැක්වීම අතර ඇති වෙනස අපි හොඳින් දනිමු.

අපගේ ඉල්ලීම ඉදිරිපත් කළ යුත්තේ එම ජීව ගුණයෙනි.

රිසානා නෆීක්ගෙන් උගත් පාඩම

අප මීට පෙරද මෙවැනි අත්දැකීමකට මුහුණ දී ඇති අතර, එහි ප්‍රතිඵලය දරාගත නොහැකි එකක් විය.

රිසානා නෆීක් 2005 මැයි මාසයේදී සවුදි අරාබියේ දවාඩ්මි (Dawadmi) ප්‍රදේශයේ ගෘහ සේවිකාවක් ලෙස සේවයට ගියාය. සති කිහිපයකට පසු, එනම් 2005 මැයි 22 වැනිදා, ඇගේ භාරකාරත්වයේ සිටි නිවැසියන්ගේ මාස හතරක් වයසැති බිළිඳා මියගියේය. රිසානා පැවසුවේ කිරි පොවන අතරතුර දරුවාගේ උගුරේ සිරවීමෙන් මෙම අනතුර සිදු වූ බවයි. පසුව 2007 ජූනි 16 වනදා ඇයට මරණ දඬුවම නියම වූ අතර, දරුවාගේ මරණයෙන් වසර හතකට පසුව, එනම් 2013 ජනවාරි 9 වනදා ඇයව මරණ දඬුවමට ලක් කෙරිණි.

එම සිද්ධිය වටා පැවැති පසුබිම තවමත් දැඩි කම්පනයක් දනවන සුළුය.

පවතින සාක්ෂිවලට අනුව දරුවා මියයන විට රිසානාගේ වයස අවුරුදු 17ක් පමණි. විදේශ රැකියාව සඳහා යැවීමට හැකි වන පරිදි රැකියා නියෝජිත ආයතනයක් විසින් ඇගේ විදේශගමන් බලපත්‍රයේ වයස අවුරුදු 23ක් ලෙස ව්‍යාජ ලෙස සටහන් කර තිබුණි.

ඇයට මරණ දඬුවම නියම වන තෙක්ම කිසිදු නීතිඥ සහයක් නොලැබුණු බවත්, ප්‍රශ්න කිරීම් අතරතුර භාෂා පරිවර්තනය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පැවැති බවත් Human Rights Watch සංවිධානය වාර්තා කළේය. බලපෑම් මත තමන් නොදන්නා ලියවිල්ලකට අත්සන් කළ බව පවසමින් රිසානා පසුව සිය පාපොච්චාරණය ඉල්ලා අස්කර ගත්තාය.

අවුරුදු 18ට අඩු පුද්ගලයන් සිදුකරන වැරදි සඳහා මරණ දඬුවම පැනවීම අන්තර්ජාතික නීතියෙන් තහනම් කර ඇති අතර, සෞදි අරාබිය ද ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ පාර්ශවකරුවෙකි.

ශ්‍රී ලංකා පාර්ශවයෙන් සිදු වූ වැරදි ආරම්භ වූයේ රිසානා සෞදි අරාබියට යෑමටත් පෙර සිටය. ව්‍යාජ වයසක් සඳහන් විදේශගමන් බලපත්‍රයක් සහිතව කුඩා දරුවෙකුට රටින් පිටවීමට හැකි විය. අසරණ සේවකයන් ආරක්ෂා කිරීම සඳහා පැවැති විදේශ රැකියා නියෝජිත, ලේඛන සහ පිටවීම් පාලන පද්ධතියම ඇය වෙනුවෙන් අසාර්ථක විය.

ඊට වගකිව යුතු නියෝජිතයන්ට පසුව කොළඹ මහාධිකරණය මගින් වසර දෙකක සිරදඬුවමක් නියම කරන ලදී.

රිසානාගේ නඩුවේ අවසාන අදියරේදී, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පෞද්ගලික ඉල්ලීම් ඇතුළුව කරුණාව ඉල්ලා සිටීමට විශාල අවධානයක් යොමු විය. කෙසේවෙතත්, ඇගේ සැබෑ වයස පිළිබඳ මූලික ගැටලුව — නීතිමය නියෝජනය, භාෂා පරිවර්තනය සහ ඇගේ අනිවාර්ය කරගත් පාපොච්චාරණය පිළිබඳ බරපතල ගැටලු සමඟ — පවතින සියලුම නීතිමය මාර්ගයන්හි ප්‍රධාන සාධකය විය යුතුව තිබුණි.

කරුණාව ඉල්ලීම යනු උතුම් මෙන්ම ඇතැම් විට අත්‍යවශ්‍ය පිළියමකි. නමුත් එය ප්‍රබලම නීතිමය ආරක්ෂාව වෙනුවට ආදේශකයක් නොවිය යුතු අතර, නීතිමය ආරක්ෂාව සමඟම ගමන් කළ යුත්තකි.

රිසානාගේ මරණ දඬුවම අන්තර්ජාතික වශයෙන් හෙළා දකින ලදී. නමුත් ඉන් පසුව කී කිසිවකට ඇයව නැවත ගෙන ඒමට නොහැකි විය.

ඇගේ සිද්ධියෙන් ශ්‍රී ලංකාව උගත යුතුව තිබූ ස්ථිර පාඩම වන්නේ විදේශයකදී බරපතල දඬුවමකට මුහුණ දෙන අපගේ කිසිදු පුරවැසියෙකුට සුදුසු නීතිමය නියෝජනයක්, නිසි භාෂා පරිවර්තනයක්, පවුලට ලබාදෙන සැබෑ උපදෙස් සහ මුල සිටම පූර්ණ ලෙස මැදිහත් වන ශ්‍රී ලංකා රාජ්‍යයක සහය නොමැතිව අවසාන අදියර දක්වා යාමට නැවත කිසිදා ඉඩ නොතැබිය යුතු බවයි.

මඟහැරිය නොහැකි ප්‍රශ්න

අනෝජන්ගේ අභියාචනය මෙහෙයවීම සම්බන්ධයෙන් වන ප්‍රශ්න දෙස බැලිය යුත්තේ එම අතීත ඉතිහාසය හමුවේය.

මම අවධාරණය කරන්නේ මේවා ප්‍රශ්න පමණක් බවයි. ඒවා තහවුරු වූ වරදකිරීම් ලෙස පටලවා නොගත යුතුය.

මෙයින් බොහොමයක් මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් විසින් ප්‍රසිද්ධියේ මතු කර ඇති අතර ඒවාට පිළිතුරු ලැබිය යුතුය.

රාසමාණික්කම්ට අනුව, සාර්ථක වීමේ ප්‍රවණතාව ‘ඉතා අඩු’ බවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තක්සේරු කර තිබියදී පවා, නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සමඟ පැවැති සාකච්ඡාවලින් පසුව අනෝජන්ගේ පවුලේ අය අභියාචනය සමඟ ඉදිරියට ගොස් ඇත.

එසේම, උපදෙස් ලැබීමෙන් පසු පවුලේ අය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමට ඇති ගිණුමකට නීතිඥ ගාස්තු ලෙස රුපියල් 1,890,766ක මුදලක් තැන්පත් කළ බවට ද රාසමාණික්කම් චෝදනා කර තිබේ.

ඔහු උපුටා දක්වන ලියකියවිලිවලට අනුව අභියාචනය අගෝස්තු මාසයේදී ගොනුකර ඇති අතර, අමාත්‍යාංශය විසින් අභියාචනය පවුලේ අයට යොමු කළ ලිපිය සැප්තැම්බර් 16 දිනැති වේ. තවද, අභියාචනයේ නීතිඥවරයා ලෙස අද්ලාන් අබ්දුල්ලා අල්-සුබායි සඳහන් කර තිබුණද, වෙනත් නීතිඥයෙකු අධිකරණය හමුවේ පෙනී සිටි බවත්, එම නීතිඥවරයාගේ අනන්‍යතාව හෝ සම්බන්ධ කරගන්නා තොරතුරු පවුලේ අයට දන්වා නොතිබූ බවත් රාසමාණික්කම් පවසා ඇත.

මෙම චෝදනා ස්වාධීන පරීක්ෂණයකින් තහවුරු වී නොමැති අතර, සාධාරණත්වය උදෙසා විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒ සෑම එකකටම පිළිතුරු දීමට අවස්ථාව ලැබිය යුතුය.

අමාත්‍යාංශය පවසන්නේ තමන් රාජ්‍යතාන්ත්‍රික සහ කොන්සල් මාර්ග ඔස්සේ සක්‍රීයව මැදිහත් වන බවත්, අදාළ සවුදි බලධාරීන් සමඟ සම්බන්ධීකරණය වෙමින් අනෝජන්ට හැකි සෑම සහයක්ම ලබාදෙන බවත්ය. එම උත්සාහයන් අගය කළ යුතුය.

නමුත් ප්‍රශ්න තවමත් සාධාරණව ඉතිරිව පවතියි.

අභියාචනයේ අවදානම් සහ වාසි පිළිබඳව පවුලේ අයට උපදෙස් දුන්නේ කවුද? ඔවුන්ට පැවසූ නිවැරදි තොරතුරු මොනවාද? නීතිඥවරයා තෝරාගෙන උපදෙස් දුන්නේ කවුද? නීතිඥ ගාස්තු වියදම් කළේ කෙසේද? අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයාගේ අනන්‍යතාවය ගැන ගැටලුවක් මතු වූයේ ඇයි? සහ අනෝජන් හා ඔහුගේ පවුලේ අය සෑම අදියරකදීම පූර්ණ ලෙස දැනුවත් කර සිටියේද?

සතුටුදායක පිළිතුරු තිබේ නම් ඒවා ලබාදිය යුතුය. යම් වැරදි සිදුවී ඇත්නම් ඒවා හඳුනාගෙන නිවැරදි කළ යුතුය.

නමුත් මෙම වගවීම් සෙවීම, අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමට දැනට ඇති වටිනා කාලය කා දැමීමක් නොවිය යුතුය.

දැන් කළ යුත්තේ කුමක්ද?

පළමු පද්‍යය විය යුත්තේ සෞදි බලධාරීන්ගෙන් නිල ලිඛිත නඩු තීන්දුව හැකි ඉක්මනින් ලබාගැනීමයි. ඉතිරිව ඇති සෑම නීතිමය විකල්පයක්ම රඳා පවතින්නේ අභියාචනා අධිකරණය තීරණය කළේ කුමක්ද සහ ඊට හේතු මොනවාදැයි නිවැරදිව දැනගැනීම මතය.

දෙවනුව, වාර්තා වන පරිදි මාසයක කාලය ඇතුළත සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබේ නම්, එම කාලසීමාව මඟහැරීමට කිසිදු ඉඩක් නොතැබිය යුතුය. අනෝජන්ට සුදුසු තත්ත්වයේ අත්දැකීම් සහිත සවුදි නීතිඥයෙකු අවශ්‍ය වන අතර, නීතිඥවරයාගේ අනන්‍යතාවය, උපදෙස් සහ වගකීම් පවුලේ අයට පැහැදිලිව වටහා දිය යුතුය. අපගේ කොන්සල් නිලධාරීන් අනෝජන් සමඟ සෘජු සබඳතාවයේ පසුවිය යුතු අතර නිසි භාෂා පරිවර්තනයක් ඔස්සේ ඔහුට නීතිමය තත්ත්වය වටහා දිය යුතුය.

තෙවනුව, නීතිමය ක්‍රියාවලිය සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය එකවර ඉදිරියට යා යුතුය.

ශ්‍රී ලංකාව ගෞරවපූර්වකව ඉහළම මට්ටමින් මැදිහත් වෙමින් කරුණාව හෝ දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. එවැනි ඉල්ලීමක් දෙරට අතර මිත්‍රත්වය, වරද සිදුවූ පසුබිම, අනෝජන්ගේ ක්ෂමාපදනය සහ ඔහුගේ පවුලට මුහුණ දීමට සිදුවන මානුෂීය බලපෑම මත පදනම් විය යුතුය.

කෙලෙස හෝ උපකාර කළ හැකි සෑම පුද්ගලයෙකුම ඊට ඉදිරිපත් විය යුතුය.

දේශපාලන සහ ප්‍රජා නායකයන් මේ වන විටත් මේ පිළිබඳව කතා කිරීමට පටන් ගෙන ඇත. මෙය මුස්ලිම්, දෙමළ, සිංහල හෝ වෙනත් කිසිදු ප්‍රජාවකට පමණක් අයිති ප්‍රශ්නයක් නොවේ. එමෙන්ම මෙය රජය සහ විපක්ෂය අතර තවත් තර්කයක් බවට පත් නොවිය යුතුය.

මෙහි පරදුවට තැවී ඇත්තේ ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ ජීවිතයයි.

එම කරුණේදී පාර්ලිමේන්තුව එකම හඬින් කතා කිරීමට සමත් විය යුතුය.

අනෝජන්ගේ ක්ෂණික නීතිමය තත්ත්වය සුරක්ෂිත කළ පසු, පාර්ලිමේන්තුව විසින් මෙම සිද්ධිය මෙහෙයවූ ආකාරය ඉතා පරීක්ෂාකාරීව සහ සාධාරණව විමර්ශනය කළ යුතුය: අභියාචනය ගැන උපදෙස් දුන්නේ කවුද, එහි අවදානම ගැන දුන් උපදෙස් මොනවාද, නීතිඥවරයා තෝරාගත්තේ කවුද, නීතිඥ ගාස්තු හසුරුවනු ලැබුවේ කෙසේද සහ ලේඛන ලබාගැනීමට අපහසු වූයේ ඇයිද යන්නයි.

එම විමර්ශනය හුදෙක් කාට හෝ චෝදනා කිරීමට පමණක් නොවිය යුතුය. එය ප්‍රතිසංස්කරණයක් ඇති කළ යුතුය.

ශ්‍රී ලංකාව සිය පුරවැසියන් සිය දහස් ගණනින් විදේශ රැකියා සඳහා යවයි. ඔවුන්ගෙන් අයෙකුට සිතාගත හැකි බරපතලම දඬුවමකට මුහුණ දීමට සිදුවන විට, ඒ සඳහා දැනටමත් පද්ධතියක් සකස් වී තිබිය යුතුය: සුදුසු පරිදි පරීක්ෂා කළ විදේශීය නීතිඥ මණ්ඩලයක්, නිසි භාෂා පරිවර්තකයන් වෙත වහාම ප්‍රවේශය, පවුල් වෙත ලබාදෙන ලිඛිත නීතිමය-අවදානම් උපදෙස්, නීතිඥ ගාස්තු සම්බන්ධයෙන් විනිවිදභාවය සහ අපගේ විදේශ දූත මණ්ඩල හා කොළඹ අතර පැහැදිලි වගකීම් බෙදීයාමක් පැවතිය යුතුය.

එසේම විදේශයන්හි සේවය කරන ශ්‍රමිකයන්, සමාජ මාධ්‍ය නිසා අමතක කිරීමට පහසු කර ඇති එක් දෙයක් තේරුම් ගත යුතුය: එනම් වෙනත් රටක සිට දුරකථනයකින් සටහන් කරන දෙයක් අදාළ රටේ නීතිවලට යටත් වන බවයි. තත්පර කිහිපයකින් කරන සටහනකින් වසර ගණනාවක් පවතින නැතහොත් ඊටත් වඩා බරපතළ ප්‍රතිවිපාක ඇති විය හැක.

ඔහුව පණපිටින් ගෙදර ගෙන ඒම

ශ්‍රී ලංකා රජයට ඉදිරි දින කිහිපය තුළ දැඩි සමබරතාවයක් අවශ්‍ය වේ: එක් පසෙකින් සෞදි අරාබියේ ස්වෛරීභාවයට සහ අධිකරණ ක්‍රියාවලියට ගරු කිරීමත්, අනෙක් පසින් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ආරක්ෂා කරගැනීම සඳහා පවතින නීත්‍යනුකූල, රාජ්‍යතාන්ත්‍රික, කොන්සල් සහ මානුෂීය මාවත් භාවිත කිරීමේ වගකීමත් ය.

එම අරමුණු එකිනෙකට ගැටිය යුතු නැත.

ශ්‍රී ලංකාවට එම රාජධානියට ගරු කරන අතරම කරුණාව ඉල්ලා සිටිය හැක. සෞදි අධිකරණයට ගරු කරන අතරම අනෝජන්ට පවතින හොඳම නීතිමය නියෝජනය ලැබෙන බවට වගබලා ගත හැක. තවද, සිය පුරවැසියෙකුට නැවත හැරවිය නොහැකි දඬුවමකට මුහුණ දීමට සිදුවීමේ ප්‍රවණතාව ගැන ශ්‍රී ලංකාව කෙතරම් කම්පනයට පත්ව සිටින්නේද යන්න පැහැදිලි කරමින්ම එම අගනා මිත්‍රත්වය පවත්වා ගත හැක.

කෙසේවෙතත්, නෝර්පිට්ටිමුනෙයිහි සිටින අනෝජන්ගේ මවට මෙම වෙනස්කම් ඉතා ඈතින් ඇති බව හැඟීම සාධාරණය.

ඇයට අවශ්‍ය වන්නේ සිය පුතු නැවත ගෙදර ඒම පමණි.

රිසානා නෆීක්ගේ පවුල ද දියණිය එනතෙක් මඟබලා සිටියහ. ඔවුන්ගේ බලාපොරොත්තුව නිම වූයේ සංවේගජනක ඛේදවාචකයකිනි.

අපට රිසානාගේ කතාව නැවත ලිවිය නොහැක. කෙසේවෙතත්, අප ඉන් පාඩමක් උගත් බව පෙන්නුම් කිරීමට අපට හැක.

මෙවර ශ්‍රී ලංකාව පවතින නීත්‍යනුකූල සෑම මාවතක්ම, තමන් සතු සෑම රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වයක්ම සහ කරුණාව ලබාගැනීමට ඇති සෑම අවස්ථාවක්ම භාවිත කළ යුතුය.

එහි අරමුණ සංකීර්ණ නැත.

එනම් සිවරාසා අනෝජන්ව පණපිටින් ගෙදර ගෙන ඒමයි.