September 20, 2026

මුස්ලිම් ජනතාව රට ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ප්‍රේක්ෂකයන් ලෙස නොසලකා, රාජ්‍ය ආයතන සහ තීරණ ගන්නා මණ්ඩලයන්හි සම අයිතිවාසිකම් සහිත පාර්ශවකරුවන් ලෙස පිළිගත යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය 32 වැනි මහ නියෝජිත සම්මේලනයේදී ප්‍රකාශ කර සිටියි.

පක්ෂ නායක රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන් කාත්තන්කුඩිය හිස්බුල්ලා සංස්කෘතික ශාලාවේදී පැවැති මෙම සම්මේලනයේදී මෙම තීරණාත්මක යෝජනාවලිය සම්මත කරගන්නා ලදී.

රාජ්‍ය ආයතන, කොමිෂන් සභා, මණ්ඩල සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත්වීම් ලබාදීමේදී දක්ෂතාව සහ සුදුසුකම පදනම් කරගනිමින්, කිසිදු වෙනස්කමකින් තොරව මුස්ලිම් නියෝජනය තහවුරු කළ යුතු බවත් 6 වසරෙන් ඉහළ මුස්ලිම් පාසල් සිසුවියන්ට පාසල් නිල ඇඳුම් රාමුව තුළ සිටිමින් සල්වාර් සහ හිජාබ් පැළඳීමට අවසර දීම, මුස්ලිම් හෙදියන් සහ සෞඛ්‍ය සේවකයන් සඳහා හිජාබ් සහිත නිල ඇඳුම් හඳුන්වා දීම මෙන්ම ආරක්ෂක අංශ සහ පොලිසිය තුළද රාජකාරි ආරක්ෂාවට බාධා නොවන පරිදි හිජාබ් පැළඳීමට හැකි වන පරිදි නිල ඇඳුම් සංශෝධනය කිරීමත් ඔවුන් සම්මත කර තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඉවත් කරන ලද මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සහ ඔවුන්ගේ ඉඩම් අයිතිය නැවත ලබාදීම, කොවිඩ්-19 වසංගත සමයේදී ආගමික විශ්වාසයන්ට පටහැනිව බලහත්කාරයෙන් ආදාහනය කරන ලද මුස්ලිම් ජාතිකයන්ගේ පවුල්වලට වන්දි සහ සහන සැලසීම, ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග මත වසා දමන ලද පල්ලි නැවත විවෘත කිරීම, ක්වාසි අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම මෙන්ම පිරිවෙන් අධ්‍යාපන පනතට සමානව මද්‍රසා පාසල් අධ්‍යාපනයද අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ඒමට අදාළ නීති සම්පාදනය කිරීම යන යෝජනා ද මෙහිදී සම්මත කර ඇත.

මෙම නියෝජිත සම්මේලනයෙන් අනතුරුව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ නායක එම්.එච්.එම්. අෂ්රෆ්ගේ 26 වැනි ගුණසමරුවද පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ සුළුතර කටයුතු අමාත්‍ය ඒ.එම්. ෂාජහාන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.